(ඉන්දිකා  රාමනායක)

රුපියල් කෝටියකට ගජමුතු තුනක් අලෙවි කිරීමට තැත් කිරීමේ සිද්ධියක්  සම්බන්ධයෙන් ගම්පහ දිස්ත්‍රිකයේ  හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයකු වු පණ්ඩු බණ්ඩාරනායක මහතා ඇතුලු පස් දෙනකු අම්පාර නගරයේ දී අද  (25) දහවල් විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

මෙම  පස් දෙනා අතර  නියෝජ්‍ය අමාත්‍යවරයා, තවත් පිරිමි පුද්ගලයන් දෙදෙනකු, කාන්තාවක් හා  ජිප් රථයේ  රියදුරු ද  සිටින බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

පිරිසක්  රුපියල් කෝටියක  මුදලකට ගජමුතු තුනක් අලෙවි  කිරීම සූදානමින් සිටින බවට  නාවික හමුදා  බුද්ධි අංශය ලබාදුන් බුද්ධි තොරතුරක්  අනුව විශේෂ කාර්ය බලකායේ  අම්පාර කඳවුරේ  නිලධාරීන්ට විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බව පොලිසියේ උසස් නිලධාරියෙකු පැවසීය.

බුද්ධි තොරතුරකට අනුව අම්පාර කඳවුරේ භට කණ්ඩායමක් විසින්  ගැනුම් කරුවන් වශයෙන්  රුපියල් කෝටියකට මුදලකට  මෙම ගජමුතු තුන ඇනවුම් කර ඇති බවත්, පිරිස අම්පාරට පැමිණ මෙම ගජමුතු   අලෙවි කිරීම කැමැත්ත පළකර ඇති බවද එම නිලධාරියා කියා සිටියේය.

 කතා කරගත් පරිදි පිරිස  ජිප් රථයකින් අද දහවල්  ගජමුතු අලෙවි කිරීම සදහා අම්පාර නගරයට පැමිණ සිටියදී විශේෂ කාර්ය බලකයාගේ නිලධාරීන්  පිරිස  ගැනුම්කරුවන් වශයෙන් එම ස්ථානයට ගොස්    ගජමුතු  පරීක්ෂා කර  පසුව  පිරිස අත්අඩංගුවට ගත් බවද  පොලිස් ආරංචි මාර්ග පවසයි.

 අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ගජමුතු තුන තිබී ඇත්තේ එහි සිටි කාන්තාව සතුව බවද   පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

අත්අඩංගුවට ගත් හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයා  ගම්පහ  ප්‍රදේශයේ  පදිංචිකරුවෙක් බවත්, කාන්තාව කඩවත ප්‍රදේශයේ පදිංකාරියක් බවත්, සෙසු පිරිස අම්පාර හා අවට ප්‍රදේශ වල පදිංචිකරුවන් බවද  පොලිස් ආරංචි මාර්ග පවසයි.

විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගත් පිරිස වැඩිදුර  පරීක්ෂණ සදහා අම්පාර මුලස්ථාන පොලිසියට බාර දී ඇත. අම්පාර මුලස්ථාන පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.