(තිලකරත්න දිසානායක)

අහිංසාවාදය ලොවට ගෙන යන ජාත්‍යන්තර සාම පාද යාත්‍රාවේ පස්වන දිනය අවසන් කරමින් අද (26) සවස යක්කල අබේසේකරාරාම විහාරස්ථානය වෙත වියට්නාමයේ පඤ්ඤාකර හිමියන් ප්‍රධාන භික්ෂූන් වහන්සේලා දහතුන් නම ඇතුලු සංඝයා වහන්සේලා වැඩම කළහ.

තෝලංගමුව ජාතික පාසල් පරිශ්‍රයේ සිට උන්වහන්සේලා යක්කල නගරට වැඩම කළ අවස්ථාවේදී නගර මධ්‍යයෙහි පිහිටි බුද්ධ ප්‍රතිමාව අසලදී අභයසේකරාරාමාධිපති මීගොල්ලේ ධම්මජෝති ඇතුලු නාහිමිවරුන් සහ ආරාධිතයින් පිරිසක් විසින් පිළිගැනීමෙන් අනතුරුව බුද්ධ ප්‍රතිමාට මල් පූජා කිරීම සිදු කොට අබේසේකරාරාම විහාරස්ථානය වෙත වැඩමවා ගෙන එනු ලැබූහ.

භික්ෂූන් වහන්සේලා සාම පා ගමනින් යක්කල අබේසේකරාම විහාරස්ථානය වැඩම කළ අවස්ථාවේ විශාල පිරිසක් සාධුකාර දෙමින් මග දෙපස රැස්ව සිටි ආකාරයක් දක්නට ලැබිණි.

විහාරස්ථානයේදී පඤ්ඤාකර හිමියන් විසින් විශේෂ ධර්ම දේශනයක් පවත්වන ලද අතර උන්වහන්සේ ඉංග්‍රීසි බසින් පවත්වන ලද ධර්ම දේශනය සිංහලෙන් පැහැදිලි කිරීම , පාද යාත්‍රාවේ සම්බන්ධීකාරක වශයෙන් කටයුතු කරන අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ ඇලන් ගෝතම බෞද්ධ විහාරයේ විහාරාධිපති මේල්පිටියේ විමලකිත්ති නාහිමියන් විසින් සිදු කරනු ලැබුහ. ධර්ම දේශනය ශ්‍රවණය කිරීම පිනිස විශාල බැතිමතුන් පිරිසක් සහභාගි වී සිටියහ.

පාද යාත්‍රාව හෙට (27) උදෑසන 6 ට යක්කල අබේසේකරාරාම විහාරස්ථානයේ සිට කැලණිය රජ මහා විහාරය දක්වා වැඩම කිරීමට නියමිතය.