(යොහාන් භාසුර)

කොළඹ මහ නගර සභාවේ මාසක රැස්වීම පැවැත්වෙමින් තිබියදී එම නගර සභාවේ මන්ත්‍රීවරයෙක්ට පහර දුන්නේ යැයි චෝදනා එල්ල වී ඇති උපාලි වැලිවත්ත මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීමට මාලිගාවත්තේ පිහිටි ඒ මහතාගේ නිවසට ගිය ද ඔහු නිවසේ නොසිටි බව කුරුඳුවත්ත පොලිසිය අද (10) පැවසීය.

එම සිද්ධියේදී පහරකෑමට ලක්වූයේ යැයි කියන කොළඹ මහ නගර සභාවේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රී රම්සි ටෝනි මහතාගේ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීම ඔහුගෙන් ප්‍රකාශයක් සටහන්කරගත් බවත් ඊට අමරතව කොළඹ මහ නගර සභාවේ මන්ත්‍රීවරු ඇතුළු සාක්‍ෂිකරුවන්ගෙන් රැසකකින් ද ප්‍රකාශ සටහන්කරගත් බවත් කුරුඳුවත්ත පොලිසියේ උසස් නිලධාරියෙක් කීය.

පහර දුන්නේ යැයි කියන මන්ත්‍රීවරයා අත්අඩගුවට ගැනීමට අඛණ්ඩව විමර්ශන ක්‍රියාත්මක කරන බවත් අදාල මන්ත්‍රීවරයා ප්‍රදේශයෙන් පිටව ගොස් ඇතැයි දැනගන්නට ලැබී ඇති බවත් එම නිලධාරියා සඳහන් කළේය.

කොළඹ මහ නගර සභාවේ අප්‍රේල් මස මහ සභා රැස්වීම ඊයේ (9) පැවැත්වෙමින් තිබියදී මන්ත්‍රී විවේකාගාරයේදී සැකකාර මන්ත්‍රීවරයා රම්සි ටෝනි මන්ත්‍රිවරයාට පහර දුන් බවත් පහර දීමෙන් තුවාල ලැබුවේ යැයි කියන රම්සි ටෝනි මන්ත්‍රිවරයා රෝහල්ගතව ඇති බවත් එම නිලධාරියා වැඩි දුරටත් පැවසීය.