පාකිස්ථානයේ සිට ගුවන් මගීන් රැගෙන යාමේ සේවාව නවතාදැමීමට එමිරේට්ස් ගුවන් සේවය තීරණය කර ඇත.‍

ගුවන් මගීන් කිහිපදෙනෙකුට කොරෝනා ආසාදනය වීම හේතුවෙන් මෙම පියවර ගත් බව එම ගුවන් සේවය දැනුම් දී තිබේ.

පාකිස්ථානයේ සිට හොංකොං බලා ගමන්ගත් මගීන් 26දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව මීට දින 4කට පෙර පරීක්ෂණ මගින් තහවුරු වී තිබිණි.  එම මගීන් 26 දෙනා ම පාකිස්ථානයේ සිට ඩුබායි හරහා හොංකොං බලා ගමන් ගත් අය වෙති.

“කෝවිඩ්-19 ආසාදනය වූ, හොංකොංහි ගුවන් මගීන් පිරිසක් අප ගුවන් සේවයේ ගමන්ගැනීම හේතුවෙන්, අද(24) සිට පාකිස්ථානයෙන් මගීන් රැගෙන යාම නවතාදැමීමට අපි තීරණය කළා ” යැයි එමිරේට්ස් ගුවන් සේවයේ මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

මේ වනවිට පාකිස්ථානයේ 188,000කට කොරෝනා ආසාදනය වී ඇති අතර, 3755දෙනෙකු මියගොසිනි.