(*** නාලක සංජීව දහනායක)

දීර්ඝ කාලයක සිට සිදුකළ අත්‍යවශ්‍ය නොවන ආනයන සීමා කර ඇති බැවින් ක්‍ෂේත්‍ර රැසක නිෂ්පාදන ඇරඹීමේ ආවස්ථාව උදාවී ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඊයේ (23) පැවැසීය.

දේශීය ආර්ථිකය ගොඩනැඟීමේ අරමුණ ඇතිව එම තීරණය ගත් බවද ඔහු කීය.

ජනාධිපති කාර්යාලයේදී ඊයේ (23) පැවැති සාකච්ඡාවකට සහභාගි වෙමින් ඔහු මේ බව සදහන් කළේය.

එහිදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා සඳහන් කළේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් පොරොන්දුවූ ආකාරයට ජනතා කේන්ද්‍රීය ආර්ථිකයකට මග සලසා ඇති බවය.

එබැවින් කර්මාන්තකරුවා ඉදිරියේ ඇති අභියෝගය වන්නේ දේශීය හා අන්තර්ජාතික වෙළඳපොළ ජයගැනීම යැයිද ඔහු කීය.
 ඍජු ප්‍රතිපත්තියක සිට රජයේ වැඩපිළිවෙළ ඉදිරියට ගෙනයන බැවින් කර්මාන්තකරුවාට සේම ගොවියාට ද ඉල්ලුම හඳුනාගෙන කටයුතු කිරීමට අවස්ථාව උදාවී ඇතැයිද ජනාධිපතිවරයා පැවසීය.

පාරිභෝගික අවශ්‍යතා සපුරාලීම, නව කර්මාන්ත බිහි කිරීම හා රටට නව තාක්‍ෂණය හඳුන්වාදීම ආදී ව්‍යාපාරිකයන් විසින් කළ යුතු බොහෝ දේ ඇති බව කී ජනාධිපතිවරයා මෙරට නිෂ්පාදනය කරනු ලබන සෑම භාණ්ඩයකම හා සපයන සෑම සේවාවකම ගුණාත්මකභාවය ඉහළ මට්ටමකින් පවත්වාගැනීමට සහ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුගතවීමට උත්සාහ කළයුතු බවද සඳහන් කළේය.

කර්මාන්තකරුවාගේ සහයට රාජ්‍ය යාන්ත්‍රණයේ සියලු ආයතන පෙළගස්වා තිබෙන බව කී ජනාධිපතිවරයා තනි අංක පොලී අනුපාතයකට බැංකු ණය ලබාදීම ආරම්භ කර ඇති බවද කීය.

එබැවින් ඉදිරි මාස කහිපයේදී මෙරට නිෂ්පාදනය කෙරෙන කොස්ස, ඉදලේ සිට බෙහෙත් පෙත්ත දක්වා සියලුම දේශීය නිෂ්පාදන වර්ධනය කරමින් ඒවායේ ප්‍රතිඵල පෙන්වීම කර්මාන්තකරුවාගෙන් තමා අපේක්‍ෂාකරන බවද හෙතෙම පැවැසීය.
ගොවියාට වගා කිරීමට උපදෙස් දී කෘෂි බෝග ආනයනය කිරීම රජයේ ප්‍රතිපත්තිය නොවන බවද ජනාධිපතිවරයා සදහන් කළේය.

කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ, ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී ජයසුන්දර, යන මහත්වරුද අමාත්‍යංශ ලේකම්වරුන් සහ මෝටර් රථ නිෂ්පාදනයේ එකලස් කිරීමේ කර්මාන්තකරුවන්, මෝටර් රථ අමතර කොටස් නිෂ්පාදකයන්ගේ සංගමය, ඇසුරුම් නිෂ්පාදකයන්ගේ සංගමය, විදුලි කේබල් කර්මාන්තකරුවන්, බෝට්ටු නිෂ්පාදකයන්ගේ සංගමය, ලෝහ කර්මාන්තකරුවන්, සම් නිෂ්පාදකයන්ගේ උපදේශක කමිටුව, රබර් ආශ්‍රිත නිෂ්පාදකයන්ගේ සංගමය, විදුලි හා විද්‍යුත් උපකරණ උපදේශක කමිටුව, දැව හා දැව ආශ්‍රිත කර්මාන්තකරුවන්ගේ සංගමය, ඒකාබද්ධ ඇගළුම් සංගම් සංසදය, ඇඟළුම් කර්මාන්තකරුවන්, රූපලාවන්‍ය නිෂ්පාදකයන්ගේ සංගමය, ඖෂධ නිෂ්පාදන උපදේශක සභාව ඇතුළු ක්‍ෂේත්‍ර රැසක නියෝජිතයෝ මෙම සාකච්ඡාවට සහභාගි වූහ.