(ඩයනා උදයංගනී)

දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්වයේ වැඩිවීමක් අද (30) සහ ඉදිරි දින කිහිපයේ දී බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර, සබරගමුව පළාත්වලත්, මහනුවර, නුවරඑළිය , ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.

වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවන අතර, ඌව පළාතේත්, මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව ද ඔහු පැවසීය.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරුමැද සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට පැයට කිලෝමීටර 50 ක පමණ වේගවත් තද සුළං ඇතිවන බව ද ඔහු සඳහන් කළේය.

ගිගුරුම් සහිත වැසි සමඟ අකුණු අනතුරු සිදුවිය හැකි බැවින් අනතුරු අවම කරගැනීමට ජනතාව ක්‍රියා කළ යුතු බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ එම ප්‍රකාශකයා කීය.