(සුජිත් හේවාජුලිගේ)

පළාත් සභා මැතිවරණයට අදාළ නීති බාධා පිළිබඳව සාකච්ඡා කිරීමට මැතිවරණ කොමිෂන් සභාවේ ප්‍රධානීන් සහ නීතිපති දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන් ලබන 7 වැනිදා පළාත් සභා මැතිවරණය පැවැත්වීමට ඇති බාධා හඳුනා ගැනීම සඳහා පත්කර ඇති පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට කැඳවීමට තීරණය කර ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා පැවසුවේ එම සාකච්ඡාව සඳහා කොමිෂන් සභාවේ  ජ්‍යෙෂ්ඨ  නිලධාරීන් පිරිසක් යොමු කරන බවයි.

පළාත් සභා ඡන්දය පැවැත්වීමට ඇති බාධා හඳුනා ගැනීම සහ එම බාධා මගහැරවාගැනීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පත්කර ඇති මෙම විශේෂ කාරක සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කරන්නේ අමාත්‍ය විජිත හේරත් මහතාය.

කමිටුව පසුගියදා පළමුවරට රැස්වී පළාත් සභා මැතිවරණය පැවැත්වීම පිළිබඳව දීර්ඝව සාකච්ඡා කළේය.

එහිදී කමිටුව හමුවේ අදහස් දක්වා ඇති බහුතර මන්ත්‍රීවරුන් පිරිසක් පෙන්වා දී ඇත්තේ පැරණි සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ පළාත් සභා මැතිවරණය පවත්වා ඊට   පසුව මැතිවරණ පනතේ අඩුපාඩු නිවැරදි කර ගත හැකි බවයි.

පළාත් සභා මැතිවරණය  වසර දහයකට වැඩි කාලයක් තිස්සේ පවත්වා නොමැත. මේ හේතුවෙන්  පළාත් සභා නවයම  මේ වනවිට පවතින්නේ ආණ්ඩුකාරවරුන්ගේ පාලනය යටතේය.