(යොහාන් භාසුර සහ ඉන්දිකා රාමනායක)

නීති විරෝධීව මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන ඒමට උත්සහ කළ වියලි කහ කිලෝග්‍රෑම් 1800 කට අධික ප්‍රමාණයක්, එනසාල් සහ කෘෂි රසායන බෝතල් තොගයක් සමඟ සැකකරුවෙක් යාපනය කයිට්ස් දූපත ප්‍රදේශයෙන් අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි.

අල්ලප්පිඩ්ඩි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ කළ සෝදිසි මෙහෙයුමකදී වියලි කහ කිලෝග්‍රෑම් 1828 ක්, එනසාල් කිලෝග්‍රෑම් 137 ක් සහ කෘෂි රසායන බෝතල් 134 ක්, සැකකරුවෙක් සහ ඩිංගි යාත්‍රාව මෙසේ අත්අඩංගුවට ගත් බව කී නාවික හමුදාව වියලි කහ උර 36 ක ද,  එනසාල්  පැකට් 137 ක ද, කෘෂි රසායන මිලිලීටර 500 සහ මිලි ලීටර 250 ප්‍රමාණයේ බෝතල් 134 ක් ලෙස ද තිබූ බව සඳහන් කළේය.

උතුරු නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා කංචදේව ආයතනය මඟින් එම සැකකටයුතු යාත්‍රාව නිරීක්ෂණය කර සෝදිසි මෙහයුමක් ක්‍රියාත්මක කළ බවත් එම ඩිංගි යාත්‍රාව අල්ලප්පිඩ්ඩි වෙරළට රැගෙන විත් පරීක්ෂා කිරීමේදී භාණ්ඩ තොගය සොයාගත් බවත් නාවික හමුදාව කීය.

සැකකරු වයස අවුරුදු 20ක් වන කයිට්ස් දූපතේ වෙන්පුරවිනගර් ප්‍රදේශයේ පදිංචිකරුවකු බවට හඳුනාගත් බවත් සැකකරු, වියලි කහ, එන්සාල්, කෘෂි රසායන සහ ඩිංගි යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය රේගු කාර්යාලය වෙත භාරදීමට නියමිතව බවත් නාවක් හමුදාව වැඩි දුරටත් සඳහන් කළේය.