(යොහාන් භාසුර)

දුම්රිය දෙපාර්තමේන්තු පරිපාලනය වෘත්තීය සමිති නිලධාරීන් මර්ධනය කිරීමට එරෙහිව දුම්රිය දෙපාර්තමේන්තුවේ එකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය මෙම මස 17 සහ 18 දෙදින පැය 48 ක වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන බව එම සන්ධානය පැවසීය.

දුම්රිය දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිති සන්ධානය කොළඹදී අද (8) එකාබද්ධ මාධ්‍ය හමුවක් පවත්වමින් එසේ පැවසීය.

වෘත්තීය සමිති 24 ක් එක්ව දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ අත්තනෝමතික පරිපාලනය හේතුවෙන් දුම්රිය සේවය අර්බුදයට පත්වීම, මගී ජනතාව නිරන්තර අපහාසුතාවයන්ට පත්වීම සහ ඒ පිළිබදව හඬ නගන වෘත්තීය සමිති නිලධාරීන් මර්ධනය කිරීමට එරෙහිව මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බවත් දුම්රිය ස්ථානාධිපති සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර ජයසේකර මහතා පැවසීය.

දුම්රිය දෙපාර්තමේන්තුවේ පරිපාලන දුර්වලතා සහ දිනෙන් දින උග්‍ර වන ගැටලු හේතුවෙන් සෘජු බලපෑමට ලක්වන්නේ දුම්රිය සේවකයන් පමණක් නොවන බවත් දිනපතා දුම්රිය භාවිතා කරන ලක්ෂ සංඛ්‍යාත මගී ජනතාවට ද එහි බර දැරීමට සිදුවන බවත් ඒ මහතා කීය.

දුම්රිය ප්‍රමාදවීම හා ධාවන වාර අවලංගු වීම, අධික මගී තදබදය සහ ප්‍රමාණවත් දුම්රිය සේවා නොමැතිවීම, කාර්යාල සේවකයින්ට සහ පාසල් සිසුන්ට නියමිත වේලාවට ගමනාන්තයට ළඟාවීමට නොහැකි වීම, දෛනික ගමනාගමනය සඳහා විශ්වාස කළ හැකි සේවාවක් නොලැබීම, මගී පහසුකම් හා සේවා තත්වය අඩුවීම, දුම්රිය ආරක්ෂාව හා මෙහෙයුම් කාර්යක්ෂමතාව සම්බන්ධයෙන් මතුවන ගැටලු සහ දුම්රිය සේවය පිළිබඳ මහජන විශ්වාසය ක්‍රමයෙන් පිරිහීම යන ගැටලු මේ වන විට මතුවී ඇති බවත් මෙම තත්වය තවදුරටත් නොසළකා හැරිය නොහැකි බවත් ජයසේකර මහතා පැවසීය.