(අංජුල මහික වීරරත්න)

ඇමරිකා එක්සත් ජනපද ෆෙඩරල් නාවික කොමිසමේ (FMC) සභාපති ලෝරා ඩිබෙල්ලා  මහත්මිය සහ බලශක්ති, වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා අතර හමුවක් අමාත්‍යාංශයේදී පැවැත්විණි.

1961 වසරේදී ආරම්භ වූ ෆෙඩරල් නාවික කොමිසම, ඇමරිකා එක්සත් ජනපදයේ ජාත්‍යන්තර සාගර ප්‍රවාහන පද්ධතිය නියාමනය කිරීම සඳහා වගවන ස්වාධීන ආයතනයකි.

ඩිබෙල්ලා මහත්මිය සැප්තැම්බර් මස 9 දා සිට 11 දා දක්වා පැවැත්වෙන 8 වැනි කොළඹ ජාත්‍යන්තර නාවික හා ලොජිස්ටික් සමුළුව ඇමතීමට නියමිත අතර, කොමසාරිස් හාවි මහතා සාකච්ඡා මණ්ඩල සාමාජිකයෙකු ලෙස ඊට සහභාගී වනු ඇත.

සාකච්ඡාවේදී විෂයභාර අමාත්‍යවරයා කොළඹ වරායේ මෙහෙයුම් කාර්යක්ෂමතාව ඉහළ නැංවීම, ඩිජිටල්කරණය වේගවත් කිරීම හා ඉදිරි වරාය සංවර්ධන කටයුතු සඳහා ජාත්‍යන්තර සහයෝගය ලබා ගැනීමට රජය කටයුතු කරමින් සිටින ආකාරය පැහැදිලි කළේය.

ඩිබෙල්ලා මහත්මිය ප්‍රමඛ නියෝජිත පිරිස අදහස් දක්වමින් කීවේ කොළඹ වරායේ ඩිජිටල් යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා ඇමරිකා රජයෙන් ලබා දීමට නියමිත ඩොලර් මිලියන 15 ක මූල්‍ය සහාය ලබා දීමේ කාර්ය සඳහා රාජ්‍ය දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලැබුණු අතර, ඉදිරි සති කිහිපය තුළදී කොංග්‍රස් අනුමැතිය ලද විගස එය නිල වශයෙන් ප්‍රකාශයට පත්කරන බවයි. 

මේ ක්‍රියාවලියන් හරහා වරාය මෙහෙයුම් වේගවත් කිරීම, නෞකා රැඳී සිටින කාලය අවම කිරීම අපේක්ෂා කරන බව ද ප්‍රකාශ විය. 

දෙවන බටහිර පර්යන්තයේ (WCT - 2) සංවර්ධන කටයුතු සඳහා දියකඩන පද්ධතිය පුළුල් කිරීම අත්‍යාවශ්‍ය බැවින්, ඒ සඳහා මූල්‍ය ආයතන වල සහාය ලබා ගැනීමට රජය කටයුතු කරමින් සිටින බව ද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර සිටියේය. 

කොළඹ වරාය ශ්‍රී ලංකාවට පමණක් නොව ඇමරිකා එක්සත් ජනපදයට සම්බන්ධ භාණ්ඩ ප්‍රවාහනය සඳහා ඉතා‍ වැදගත් කේන්ද්‍රස්ථානයක් වන බැවින්, වරායේ සංවර්ධනය සඳහා අවශ්‍ය උපරිම සහාය ලබා දීමට සූදානම් බවත් නියෝජිත පිරිස සඳහන් කළහ.