(නිමල කොඩිතුවක්කු)

තායිලන්තයට ඇතුළුවීමේදී වීසා රහිතව ඇතුළුවීමේ පහසුකම එළැඹෙන 15 වැනිදා සිට අහෝසි කිරීම සම්බන්ධව තායිලන්ත රජය සමග මෙරට රජය සාකච්ඡා කළ බව විදේශ කටයුතු අමාත්‍යා විජිත හේරත් මහතා පැවසීය.

ඒ අනුව ද්විපාර්ශ්වික ගිවිසුමක් ඇති කිරීම සඳහා යෝජනා වූ බවත් ඒ අනුව ඉදිරියේදී මේ සම්බන්ධව දෙරට අතර ගිවිසුමක් අත්සන් කිරීමට නියමිත බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

අමාත්‍යවරයා පැවසුවේ මෙම ද්විපාර්ශ්වික ගිවිසුම හරහා නැවතත් මෙරටට එම වීසා පහසුකම ලබා ගැනීමට බලාපොරාත්තු වන බවය.

තායිලන්තයට ඇතුළුවීමේදී ශ්‍රී ලාංකිකයින්ට මීට පෙර හිමි තිබූ වීසා රහිතව ඇතුළුවීමේ පහසුකම අහෝසි කිරීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ මෙරට පුරවැසියන් තායිලන්තයට ඇතුළු වී සිදුකරනු ලැබූ නීති විරෝධී ක්‍රියා බව  ද විජිත හේරත් මහතා පැවසීය.

අද (08) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍යවරයා පැවසුවේ මෙරට පුරවැසියන් තායිලන්තයේදී සිදුකරනු ලැබූ විවිධ නීතිවිරෝධී ක්‍රියා හේතුවෙන් එම වීසා රහිතව ඇතුළු වීමේ පහසුකම මෙරටට අහිමි කර ඇති බවය.