(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

අනුරාධපුර ප්‍රදේශයේ දැරියක් ලිංගික අපයෝජනයට ලක් කිරීමේ සිදු වීමට අදාළව ක්‍රියාත්මක වන නීතිමය කටයුතු සහ දැරියගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සොයා බැලීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය තීරණය කරයි.

මෙම තීරණය ගනු ලැබුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය එහි සභාපතිනී අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මියගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී අද (25) රැස්වූ අවස්ථාවේදීය.

ඒ අනුව ශ්‍රී ලංකා පොලීසිය, නීතිපති දෙපාර්තමේන්තුව, ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය, පරිවාස සහ ළමාරක්ෂක දෙපාර්තමේන්තුව ඇතුළු අදාළ ආයතන සමග මේ සම්බන්ධ  සාකච්ඡාවක් ජුනි 5 වැනිදා පැවැත්වීමට සැලසුම් කර ඇත.

සමාජ ආන්දෝලනයකට ලක්ව ඇති මෙම සිදුවීමට අමතරව, ළමයින් සහ කාන්තාවන්ට එරෙහිව සිදුවන සියලු ආකාරයේ හිංසනයන් වැළැක්වීමට අවශ්‍ය නීති සහ ආයතන බල ගැන්වීම පිළිබඳ මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කිරීමට නියමිතය.

මේ අතර, අනුරාධපුර දැරියට අදාළ සිදුවීමෙහි ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග අධීක්ෂණය කිරීම මෙන්ම කාන්තා සහ ළමා හිංසනය පිටුදැකීමට ර⁣ටේ සිදු කළ යුතු ආයතනික සහ නීති ප්‍රතිසංස්කරණ හඳුනා ගැනීමේ ක්‍රියාවලිය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය යටතේ පත් කරනු ලබන අනු කමිටුවක් මගින් කටයුතු කිරීමටද තීරණය කෙරිණි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සම උප සභාපතිවරියන් වන පාර්ලිමේන්තු මන්ත්‍රිනී සමන්මලි ගුණසිංහ, නීතිඥ චමින්ද්‍රාණි කිරිඇල්ල  මහත්මීන්ගේ මුලිකත්වයෙන්  යුත් මෙම කමිටුවේ සෙසු සාමාජිකාවන් ලෙස, හේමාලි වීරසේකර, ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න ,නීතිඥ සාගරිකා අතාවුද ,  නීතිඥ නිලන්ති කොට්ටහච්චි,  නීතිඥ නිලූෂා ලක්මාලි ගමගේ , නීතිඥ තුෂාරි ජයසිංහ ,නීතිඥ අනුෂ්කා තිලකරත්න ,  නීතිඥ හසාරා ලියනගේ ,නීතිඥ හිරුනි විජේසිංහ සහ  නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර මහත්මීන් කටයුතු කරනු ඇත.