( තිළිණි ද සිල්වා )

ලබන දෙසැම්බර් මාසය තුළ තවත් ගුවන් සමාගම් 04 ක් ශ්‍රි ලංකාවට නව සෘජු ගුවන් ගමන් ආරම්භ කිරිමට නියමිතව ඇතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

ඒ අනුව රුසියාවේ අසූර් ගුවන් සමාගම , කසකස්ථානයේ එයාර් අස්තානා   ගුවන් සේවය , පෝලන්තයේ ලොට් පෝලිෂ් ගුවන් සමාගම හා ඉතාලියේ නියෝස් ගුවන් සමාගම මෙලෙස ලංකාවට සෘජු ගුවන් ගමන් ආරම්භ කරන බවද සංචාරක අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

රුසියාවේ අසූර් ගුවන් සමාගම දෙසැම්බර් මස 03 වෙනිදා සිට සතියකට දෙවරක් ද ,  කසකස්ථානයේ සිට එවාර් අස්තානා   ගුවන් සේවය ද එදින සිට සතියකට දෙවරක් ද ,  පෝලන්තයේ ලොට් පෝලිෂ්  ගුවන් සමාගම දෙසැම්බර් 08 වෙනිදා ද , ඉතාලියේ නියෝස් ගුවන් සමාගම  15 වැනිදා ද සිට ශ්‍රී ලංකාවට සෘජු ගුවන් ගමන් ආරම්භ කිරිමට නියමිත බව ද අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා කීවේය.

පසුගිය දින කීපය තුළ රුසියාවේ ඇරෝෆ්ලොට් , එයාර් ෆ්‍රාන්ස්   යන ගුවන් සමාගම් ඇතුළු නව ගුවන් සමාගම් 04 ක් සිය සෘජු ගුවන් ගමන් ශ්‍රී ලංකාව සමග ආරම්භ කළ අතර නව ගුවන් සමාගම් මෙලෙස සෘජු ගුවන් ගමන් ශ්‍රී ලංකාව සමග ආරම්භ කිරීම මෙරට සංචාරක කර්මාන්තය යළි ගොඩ නැගීමේ කාර්යයට රුකුලක් බව හෙතෙම කීවේය.

කොවිඩ් වසංගතයට පෙර මෙරටට ගුවන් සමාගම් 37 ක් පමණ ගුවන් මෙහෙයුම් සිදු කළ අතර මේ වන විට ගුවන් සමාගම් 17 ක් මගී ගුවන් මෙහෙයුම් නැවත ආරම්භ කර ඇත. ගුවන් භාණ්ඩ මෙහෙයුම් යළි ආරම්භ කර ඇති ගුවන් සමාගම් ගණන 08කි.

මීට පෙර ශ්‍රී ලංකාවට ගුවන් ගමන් සිදු කළ සියලු සමාගම් සමග නැවත මෙරටට ගුවන් ගමන් ආරම්භ කිරීමට සාකච්ඡා කෙරෙමින් පවතින බව ද ඇමතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.