(ඉන්දිකා රාමනායක)

සිංහල හා හින්දු අලුත් අවුරුද්ද නිමිත්තෙන්  අද (12)   සිට  16    දක්වා කාලය තුළ සිරකරුවන්ට අමුත්තන් බැලීම සදහා වි‍ශේෂ අවසරයක්  ලබා දී ඇති බව බන්ධනාගාර මුලස්ථානය පවසයි.

මෙම වි‍ශේෂ උත්සව අවස්ථාව වෙනුවෙන් එක් සිරකරුවෙකු බැලීම සඳහා ඔහුගේ ඥාතීන් තිදෙනෙකුට (03ක්) අවස්ථාව ලබා දී ඇති  බවත් ,  ඥාතීන් විසින් නිවසේ දී සකස්කර රැගෙන එනු ලබන බත් පාර්සලයක් හා රස කැවිලි එක් සිරකරුවෙකුට ප්‍රමාණවත් පරිදි ලබා දීමට අවස්ථාව ලබා දී ඇති  බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක පාලන හා පුනරුත්ථාපන කොමසාරිස්  චන්දන ඒකනායක මහතා පවසයි.

සියලු සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව එම කටයුතු සිදු  කරන  බවද හෙතෙම කියා සිටියේය.

සිරකරුගේ ඥාතියෙකුට ‍හෝ ඔහු විසින් නම් කරනු ලබන එක් පුද්ගල‍යෙකුට සිරකරු වෙනුවෙන් මසකට තැන්පත් කරන රුපියල් 2000 මුදලට අමතරව මෙම උත්සව සමය වෙනුවෙන් රුපියල් 1000 මුදලක් බන්ධනාගාර ආපනශාලාවේ තැන්පත් කර එම තැන්පත් කරන මුදලින් කිරිපි‍ටි, සීනී, රස කැවිලි ඇතුළු සනීපාරක්ෂක ද්‍රව්‍ය එක් අයෙකුට ප්‍රමාණවත් පරිදි ලබාදීමට ද අවස්ථාව ඇති බව  බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.