(අංජුල මහික වීරරත්න)

ආසියානු සංවර්ධන බැංකුවේ මුල්‍ය සහාය මත 'පශ්චාත් දිට්වා  සුළිකුණාටු ප්‍රතිසංස්කරණ හා ජීවනෝපාය සහය ව්‍යාපෘතිය ' ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

2025 නොවැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවට බලපෑ 'දිට්වා ' සුළි කුණාටුව හේතුවෙන් මහාමාර්ග, දුම්රිය මාර්ග සහ වාරි මාර්ග පද්ධති වැනි ජාතික යටිතල පහසුකම් වලට මෙන්ම ජීවනෝපායන්, කෘෂිකාර්මික කටයුතු සහ නිවාසවලට දැඩි හානි සිදු විය.

 මේ සම්බන්ධයෙන් සිදු කරනු ලැබ ඇති පශ්චාත් ආපදා අවශ්‍යතා තක්සේරුවට අනුව, එම ව්‍යසනය හේතුවෙන් ආසන්න වශයෙන් ඇමෙරිකා ඩොලර් බිලියන 2.1 ක හානි මෙන්ම, ඇමෙරිකා ඩොලර් බිලියන 1.4ක ආර්ථික පාඩු සිදු වී ඇති අතර, ප්‍රතිසාධන අවශ්‍යතාව ඇමෙරිකා ඩොලර් බිලියන 3.5 ක් බවට ඇස්තමේන්තු ගතකරනු ලැබ තිබේ. 

ඒ අනුව, හදිසි ප්‍රතිසාධන අවශ්‍යතාවන් සැලකිල්ලට ගනිමින් සහ ශ්‍රී ලංකා රජය විසින් කරන ලද ඉල්ලීම මත ආසියා සංවර්ධන බැංකුව විසින් ' පශ්චාත් දිව්වා සුළි කුණාටු ප්‍රතිසංස්කරණය සහ ජීවනෝපාය සහාය ව්‍යාපෘතිය නමින් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා අරමුදල් සලසා දීමට එකඟතාව පළ කර ඇත.

සුළි කුණාටුවෙන් හානිවූ මාර්ග යටිතල පහසුකම් පුනරුත්ථාපනය කිරීම, සුළි කුණාටුවෙන් හානි වූ වාරි මාර්ග පද්ධති ප්‍රතිසංස්කරණය කිරීම සහ ජීවනෝපායන් ප්‍රතිස්ථාපනය කිරීම හා නිවාස ආධාර යන ප්‍රධාන සංරචක තුනකින් සමන්විතව එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ. ඒ අනුව, නිත්‍ය සාමාන්‍ය ප්‍රාග්ධන සම්පත් වලින් ඇමෙරිකා ඩොලර් මිලියන 100 ක් සහ සහනදායී සාමාන්‍ය ප්‍රාග්ධන සම්පත් වලින් ඇමෙරිකා ඩොලර් මිලියන 100ක් වශයෙන් ඇමෙරිකා ඩොලර් මිලියන 200 ක අරමුදල් යෝජිත ව්‍යාපෘතිය සඳහා ලබා ගැනීම පිණිස මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන්  ජනාධිපතිවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.