(අංජුල මහික වීරරත්න)

මෙරට පුනර්ජනනීය බලශක්ති ධාරිතාව සහ විදුලි පද්ධතියේ ස්ථාවරත්වය ඉහළ නැංවීම සඳහා ස්ථාපනය කරනු ලබන දකුණු පළාත් බැටරි බලශක්ති ගබඩා පද්ධතිය  වරාය, සිවිල් ගුවන් සේවා සහ බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් ජාතික විදුලි පද්ධතියට නිල වශයෙන් සම්බන්ධ කරනු ලැබිණි.

මෙම බැටරි පද්ධතිය ගාල්ල, බටදූවෙි පිහිටුවා තිබේ.

මෙගාවොට් 10 ක (10 MW) ධාරිතාවකින් සහ මෙගාවොට් පැය 40 ක (40 MWh) ධාරිතා ගබඩා ප්‍රමාණයකින් යුත් මෙම එක් බලාගාරයක් සඳහා සාමාන්‍යයෙන් රුපියල් බිලියන 1.73 ක පමණ පිරිවැයක් දරන අතර, මේ සඳහා මහා පරිමාණ Lithium-ion (ලිතියම් - අයන් සහ පොස්පරස්) කන්ටේනර් වර්ගයේ (Containerized BESS) බැටරි පද්ධති තාක්ෂණය භාවිත කරයි.

මිලි තත්පර ගණනකින් (Milliseconds) ක්‍රියාත්මක වීමේ හැකියාව ඇති බැවින්, ජාතික පද්ධතියේ කිසියම් බලාගාරයක් බිඳ වැටුණහොත් ක්ෂණිකව සංඛ්‍යාතය පාලනය කර විදුලිය විසන්ධි වීම (Blackout) වැළැක්වීමට මෙම පද්ධතිය සතු විශේෂත්වයයි.

සූර්ය සහ සුළං වැනි පුනර්ජනනීය බලශක්ති බලාගාර බහුලව පවතින ප්‍රදේශවල විදුලි රැහැන් පද්ධතියේ ස්ථාවරත්වය ආරක්ෂා කිරීම සඳහා, මෙම බැටරි පද්ධති සියල්ලම ඒ අසල ඇති උපපොළවල් (Grid Substations) 16 ක් කේන්ද්‍ර කරගනිමින් පළාත් මට්ටමින් ස්ථාපිත කිරීමට නියමිතය.

දහවල් කාලයේදී සූර්ය බලශක්තියෙන් (Solar Power) නිපදවන අතිරික්ත විදුලිය මෙම බැටරි පද්ධතිය තුළ ගබඩා කර ගන්නා අතර, රාත්‍රී කාලයේදී විදුලි ඉල්ලුම උපරිම වන අවස්ථාවන්හිදී (Peak Hours) එම විදුලිය නැවත ජාතික විදුලිබල පද්ධතියට මුදා හැරීමට හැකි වීම මෙහි සතු තාක්ෂණික විශේෂත්වයයි. මෙහි පාලන කටයුතු සහ අධීක්ෂණය බලශක්ති අමාත්‍යාංශය යටතේ පවතින ජාතික පද්ධති ක්‍රියාකරු සමාගම NSO (The National System Operator) විසින් සිදු කරනු ලබයි.