(අංජුල මහික වීරරත්න)

ඉන්ධන ගැටලු පිළිබඳව සොයා බැලීමට සහ අවශ්‍ය මැදිහත්වීම් සිදු කිරීමට සියලු අමාත්‍යාංශ ආවරණය වන පරිදි  ඛනිජ තෙල් නිතීගත සංස්ථාවෙන් නිලධාරීන් පස් දෙනෙක් පත් කිරීමට අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදාහැරීම් අධීක්ෂණය සඳහා පත් කළ කමිටුවේදි තීරණය විය.

සෑම අමාත්‍යාංශයක්ම යටතේ පවතින ආයතනවල මතුවන ඉන්ධන ගැටලු පිළිබඳව සොයා බලා සංස්ථාව සමඟ සම්බන්ධීකරණය පවත්වා ගනිමින් විසඳුම් ලබා දීමට මැදිහත් වීම මෙම නිලධාරීන්ගේ වගකීම බවද එහිදී සාකච්ඡා කෙරිණි.

ප්‍රවාහන මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදාහැරීම් අධීක්ෂණය සඳහා පත් කළ කමිටුව  ජනාධිපති ලේකම් කාර්යාලයේදී රැස් වූ අවස්ථාවේදී මේ පිළිබඳ කරුණු සාකච්ඡා විය.

කර්මාන්තකරුවන්ට තමන්ගේ නිෂ්පාදන රට පුරා බෙදාහැරීම සඳහා වාහනවලට දැනට ලබා දී ඇති ඉන්ධන කෝටාව ප්‍රමාණවත් නොවන බවට ඉල්ලීම් ඉදිරිපත්ව ඇති බවද, ඒ ඉල්ලීම් නොසලකා හැරියහොත් භාණ්ඩ මිල ඉහළ දැමීමේ ඉඩකඩක් ඇති අතර එසේ වුවහොත් උත්සව සමයේ ජනතාව දැඩි අසීරුතාවයකට පත්විය හැකි බව මෙහිදි වැඩි අවධානයකින් සාකච්ඡාවට ගනු ලැබීය.

කර්මාන්ත, සතොස ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදා හරින රාජ්‍ය සහ පෞද්ගලික ආයතන, තොග ආනයනකරුවන්, සංචාරක ක්ෂේත්‍රයේ සේවා ආයතන හෝ හෝටල් සඳහාත් වෙනත් සේවා සැපයුම් ආයතන සඳහාත් ඉන්ධන නිකුත් කිරීම පිළිබඳවද මෙම කමිටුවේදි සාකච්ඡා විය.