(කේ. බුද්ධික කුමාරසිරි සහ ගයාන් සූරියඅරච්චි)


ත්‍රී රෝද රථ සොරාගෙන මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමේ යෙදුණු කොළඹ පෞද්ගලික බැංකුවක ගිණුම් විගණන නිලධාරියෙකු ලෙස කටයුතු කළ අයෙකු හෙරොයින් සහ සොරා ගත් ත්‍රී රෝද පහක් සමඟ හෝමගම කටුවාන ප්‍රදේශයේදී අද (20) දින අත් අඩංගුවට ගත් බව හෝමගම කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි.

සැකකරුට විවිධ අධිකරණ තුළ නඩු 28 ක්  පවතින බවට අනාවරණය වී ඇත.

එම කොට්ඨාසයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අමිල ගෝවින්න මහතාට පෞද්ගලික ඔත්තුකරුවකුගෙන් ලද තොරතුරකට අනුව සැකකරු අත් අඩංගුවට ගැනීමට හැකි වී ඇත.

එම සැකකරු කොළඹ ප්‍රධානතම සුප්‍රසිද්ධ පාසලක ඉගෙනුම ලබා අදාල පෞද්ගලික බැංකුවේ රාජකාරී කරමින් සිටින අතරතුර සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන හඳපාන්ගොඩ හඳයා නැමැත්තාගේ සමීපතම ගෝලයකු වන පුද්ගලයයෙකු සමඟ ඇති කර ගත් සබඳතාවක් මත දැඩි ලෙස අයිස් මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහි වීම නිසා ඒවා මිලදී ගැනීමට මෙලෙස සිදු කර ඇතැයි කියයි.