(අංජුල මහික වීරරත්න)

මානව හිමිකම් පිළිබඳ අන්තර් අමාත්‍යාංශ ස්ථාවර කමිටුවක් පිහිටුවීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ශ්‍රී ලංකාව, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික රාජ්‍යයක් ලෙස මූලික මානව හිමිකම් ගිවිසුම් 9 ක සහ විකල්ප ප්‍රොටොකෝල 5ක රාජ්‍ය පාර්ශ්වකරුවකු ලෙස ක්‍රියා කරනු ලබයි. එහි ජාත්‍යන්තර සම්මුතීන්ට අමතරව විශ්ව කාලාන්තර සමාලෝචනය සඳහා ද ශ්‍රී ලංකාව සහභාගි වන අතර, එමගින් මානව හිමිකම් පිළිබඳ ප්‍රගතියක් ඇති කිරීම සඳහා ජාතික මට්ටමින් ගෙන ඇති පියවරයන් ස්වේච්ඡාවෙන් ප්‍රකාශ කිරීමට ශ්‍රී ලංකාවට අවස්ථාව සැලසේ.

2023 වර්ෂයේදී එකී විශ්ව කාලාන්තර සමාලෝචනයේ 4 වන චක්‍රය යටතේ ශ්‍රී ලංකාව පිළිබඳව සිදු කරනු ලැබූ සමාලෝචනයේදී අනෙකුත් රාජ්‍යයන්ගෙන් ලැබුණු නිර්දේශ ක්‍රියාත්මක කිරීමේදී ලබා ඇති ප්‍රගතිය ගෙන හැර දක්වමින් ස්වේච්ඡා මධ්‍යකාලීන වාර්තාවක් මීළඟ සමාලෝචනයට පෙර ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකාවට අවස්ථාව සැලසී ඇත.

ඒ අනුව, එකී වාර්තාව සකස් කිරීමේ කාර්යය සඳහා රජයේ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සහ ආයතන ඇතුළු ඵලදායී බහු පාර්ශ්වකරුවන්ගෙන් සමන්විත ජාතික යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව හඳුනාගනු ලැබ ඇත. ඒ අනුව, ශ්‍රී ලංකාවේ මානව හිමිකම් පිළිබඳ කටයුතු සම්බන්ධයෙන් පසු විපරම් කිරීමේ සහ වාර්තා කිරීමේ ඵලදායී දේශීය ක්‍රියාවලියක් සඳහා ස්ථාවර ජාතික රාමුවක් ලෙස ක්‍රියා කිරීම පිණිස මානව හිමිකම් පිළිබඳ අන්තර්-අමාත්‍යාංශ ස්ථාවර කමිටුවක් පිහිටුවීම සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යවරයා  සහ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා  ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.