(අංජුල මහික වීරරත්න)

මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් වන සාකච්ඡා සාර්ථකව අවසන් වනු ඇති බව තම අපේක්ෂාව යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

මෙි සම්බන්ධයෙන් තමන් චීන මුදල් අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කළ බවද ජනාධිපතිවරයා කීය.

වොෂින්ටන් නුවරට ගොස් සිටින මුදල් රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රමුඛ නියෝජිත පිරිස ද ප්‍රථම වතාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ මෙරටට ණය ලබාදී ඇති ප්‍රධාන රටවල් තුන වන චීනය, ඉන්දියාව සහ ජපානය සමඟ මූලික සාකච්ඡා සිදු කළ බව කී ජනාධිපතිවරයා රටේ ආර්ථික බංකොලොත්භාවය පිළිබඳ ගැටලුව කඩිනමින් විසඳීමටත් ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමටත් රජය ප්‍රමුඛ අවධානයක් ලබා දී කටයුතු කරන බවද පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ අද (16) සියඹලාණ්ඩුව, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ රතුමඩ, වීරකඳවල අවට වගා භූමියේ නිරීක්ෂණ චාරිකාවක නිරත වීමෙන් අනතුරුව අදහස් දක්වමිනි.