(අංජුල මහික වීරරත්න)

දේශීය කර්මාන්තකරුවන් ශක්තිමත් කර ඔවුන් අපනයන වෙළෙඳපොළට යොමු කිරීම මගින් ඩොලර් ආදායම ඉහළ නංවා ගැනීම රජයේ ඉලක්කය බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

ආයෝජන කිරීමට සහ වෙළෙඳපොළ ජය ගැනීමට සූදානම් පිරිසට රජයේ උපරිම සහාය ලබා දෙන බවද ජනාධිපතිවරයා කීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ රබර් සහ තේ නිෂ්පාදන සහ අපනයන ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ කර්මාන්තකරුවන් සමඟ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදීය.

ලොව බොහෝ රටවල් ආර්ථික වශයෙන් ශක්තිමත් වූයේ දේශීය කර්මාන්ත අපනයනය සඳහා යොමු කිරීමෙන් බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා දැනට පවතින විදේශ ණය පීඩනයෙන් සහ ජාත්‍යන්තර මූල්‍ය ආයතන මත යැපීමෙන් මිදීමට ඇති එකම මාවත දේශීය නිෂ්පාදන ධාරිතාව ඉහළ නැංවීම බවද පෙන්වා දුන්නේය.

දේශීය කර්මාන්තකරුවන් අපනයන ක්ෂේත්‍රයට පිවිසීම දිරිමත් කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක කළ යුතු නව වැඩසටහන් පිළිබඳව මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරුණු අතර රබර් සහ තේ කර්මාන්තය නගා සිටුවීමත්, අපනයන ආදායම ඉහළ නංවා ගැනීමත් වෙනුවෙන් 2026- 2030 ජාතික අපනයන සංවර්ධන සැලැස්මට සමගාමීව නව උපායමාර්ගික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම පිළිබඳවද මෙහිදී අවධානය යොමු කෙරිණි.

නිෂ්පාදන ධාරිතාව සහ දත්තවල වැදගත්කම මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා වාර්ෂිකව නිෂ්පාදනය වැඩි කරන ප්‍රමාණය පිළිබඳවද නිවැරදි අවබෝධයක් තිබීමේ අවශ්‍යතාවයද පැහැදිලි කළේය.