(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

මත්ද්‍රව‍ය රැගෙන වරාය නගරයට ඇතුළු වීමට පැමිණි තරුණයන් 14 දෙනෙකු අත්අඩංගුවට ගත් කොටුව පොලිසිය සඳහන් කරයි.

එම සැකකාර තරුණයන් සමග හෑෂ් මත්ද්‍රව්‍ය මිලිගෑම් 2060 ක් කුශ් මත්ද්‍රව‍ය මිලිගෑම් 1580 ක් හා තීරු බදු රහිතව ආනයනය කරන ලද දුම්වැටි පෙට්ටි 03 ක් පොලිස් භාරයට ගෙන ඇත.

වරාය නගරයේ පැවති ඩී. ජේ සංගීතයක් නැරඹීම සඳහා විශාල පිරිසක් පැමිණෙමින් සිට ඇති අතර කොටුව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දිලීප. සී. පෙරේරා මහතාගේ උපදෙස් මත වරාය නගරයට ඇතුළු වීමේ පිවිසුම අසල වට රවුමේදී සංගීතය නැරඹීමට පැමිණි පුද්ගලයන් විශේෂ සෝදිසියකට ලක් කිරීමට දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක එම්. ආර්. එල් .මුතුගල මහතා ඇතුළු කණ්ඩායමක් විසින් පියවර ගෙනඇත.

ඒ අනුව සංගීතයට නැරඹීමට පැමිණි තරුණයන් අට දෙනකු හෑෂ් මත්ද්‍රව‍ය සමග තිදෙනෙකු කුෂ් මත්ද්‍රව්‍ය සමග හා අනෙක් තිදෙනා තීරු බදු රහිතව ආනයනය කරන ලද දුම් වැටි සමගද අත්අඩංගුවට ගැනීමට හැකි වු බව පොලිසිය සඳහන් කරයි.

අත්අඩංගුවට ගත් සැකකාර තරුණයන් මහනුවර ,ගෑන්ඩ්පාස් , බෙන්තොට සහ මොරටුව පදිංචි වයස අවුරුදු 18-26 අතර පසුවන්නන්ය.