(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකාවේ චීන තානාපති චි චෙන්හොන්ග් සහ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහත්වරුන් අතර හමුවක් ජනතා විමුක්ති පෙරමුණේ පැලවත්ත ප්‍රධාන කාර්යාලයේදී සිදු විය.

එළඹෙන ජූලි 1 දිනට යෙදී ඇති චීන කොමියුනිස්ට් පක්ෂය පිහිටුවීමේ 105 වෙනි සංවත්සරය පිළිබඳ මෙහිදි චීන තානාපතිවරයා විසින් ජවිපෙ ප්‍රධාන ලේකම්වරයා දැනුවත් කරන ලදී.

105 වෙනි සංවත්සරය වෙනුවෙන් කොළඹදී පැවැත්වෙන උත්සවයට ද එහිදී ටිල්වින් සිල්වා මහතාට ආරාධනා කෙරිණි.

ජනතා විමුක්ති පෙරමුණේ හා ජාතික ජන බලවේගයේ ක්‍රියාධරයන් සඳහා චීනය සංවිධානය කරනු ලබන අධ්‍යාපන වැඩසටහන් පිළිබඳවද මෙහිදී සාකච්ඡා විය.

චීන කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ෂී ජින්පින් විසින් රචිත චීනයේ ආණ්ඩුකරණය (The Governance of China) යන කෘති මාලාවේ 5 වෙනි වෙළුමේ පිටපතක් පිළිගැන්වීමද මෙහිදී සිදු විය. මෙම හමුව සඳහා ශ්‍රී ලංකාවේ චීන නියෝජ්‍ය තානාපති යැන්වෙයි චු සහ චීන තානාපති කාර්යාලයේ දේශපාලන උපදේශක මෙයි ජිනග් මහත්වරු ද සහභාගී වූහ.