(විමුක්ති එස් රුද්‍රිගු)

සෑම පාර්ශ්වයක්ම ඇමෙරිකාව සහ ඉරානය අත්සන් තැබූ මූලික අවබෝධතා ගිවිසුමේ කොන්දේසි පිළිපදින බව සහතික කර ගැනීමට බලාපොරොත්තු වන බව ස්විට්සර්ලන්ත සාම සාකච්ඡාවලට සහභාගී වන ඉරාන දූත පිරිස අද ප්‍රකාශ කළේය.

ඉරානය නැවතත් හෝමුස් සමුද්‍ර සන්ධිය වසා ඇති මොහොතක අවසන් සාම ගිවිසුමක් ඇතිකර ගැනීම සඳහා වන පළමු වටයේ තාක්ෂණික සාකච්ඡා අද ස්විට්සර්ලන්තයේදී ආරම්භ වූවේය.

පළමු වටයේ සාකච්ඡා සඳහා සහභාගීවීමට කතානායක මොහොමඩ් බගේර් ගලිබෆ් සහ විදේශ කටයුතු අමාත්‍ය අබ්බාස් අරග්චිගේ නායකත්වයෙන් යුත් ඉරාන දූත පිරිස ඊවේ පස්වරුවේ ස්විට්සර්ලන්තයට පැමිණියහ.

උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස්, විශේෂ නියෝජිතයන් වන ජැරඩ් කුෂ්නර් සහ ස්ටීව් විට්කොෆ්ගෙන් සමන්විත ඇමෙරිකානු නියෝජිත පිරිස සාම සාකච්ඡාවලට සහභාගීවීම සඳහා අද පෙරවරුවේ ස්විට්සර්ලන්තයට ළඟා වූහ.

දෙපාර්ශ්වයට අමතරව සටන් විරාමයේ මැදිහත්කරුවන් පාකිස්තානයේ සහ කටාරයේ දූත පිරිස්ද  ස්විට්සර්ලන්තයට පැමිණියහ.

පාකිස්තානය නියෝජනය කරමින් අගමැති ශෙබාස් ෂරීෆ් සහ ෆීල්ඩ් මාෂල් අසීම් මුනීර් සාම සාකච්ඡාවලට සහභාගී විය.

සාම සාකච්ඡාවේදී ඉරාන න්‍යෂ්ටික වැඩසටහන සහ ලෙබනන සටන් විරාමය පිළිබඳ ගැටලුව නිරාකරණය කර ගැනීමට බලාපොරොත්තු වන බව ඇමෙරිකානු උප ජනාධිපති ජේ.ඩී වෑන්ස් ප්‍රකාශ කළේය.