(යොහාන් භාසුර)

නාවික හමුදා මූලස්ථානයේ ස්ථාපිත සමුද්‍රීය තොරතුරු මධ්‍යස්ථානයට ජපානයෙන් සමුද්‍රීය තොරතුරු එක්රැස් කිරීමේ උපකරණ අද (25) ප්‍රදානය කළේය.

මෙම මධ්‍යස්ථානය මඟින් සිදු කරනු ලබන මෙහෙයුම් තවදුරටත් කාර්යක්ෂමව කිරීම සඳහා ජපන් රජයේ ආධාර මත, මත්ද්‍රව්‍ය සහ අපරාධ සම්බන්ධ එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ ගෝලීය සමුද්‍රීය අපරාධ පිළිබඳ වැඩසටහන මෙම උපකරණ ලබාදුන්නේය.

ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිශුකොෂි හිඩයාකි මහතා නාවික හමුදා මුලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතාට එම උපකරණ පිරිනැමීය.

ශ්‍රී ලංකාව කිලෝමීටර 1340 ක දුර ප්‍රමාණයකින් යුත් වෙරළ තීරයකට සහ වර්ගකිලෝ මිටර් 510,000 ක අනන්‍ය ආර්ථික කලාපයකට හිමිකම් කියන බවත් මෙම වෙරළ තීරයේ සහ අනන්‍ය ආර්ථික කළාපයේ ආරක්ෂාව සම්බන්ධයෙන් මෙන්ම ගොඩබිම මෙන් 27 ගුණයක් විශාල සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් කළාපය සඳහා ද ශ්‍රී ලංකාව වගකීමෙන් බැදී සිටින බවත් නාවික හමුදාව පවසයි.

සමුද්‍රීය ආරක්ෂාව සම්බන්ධයෙන් සහ සමුද්‍රීය පාරිසරික ගැටළු පිළිබඳ සොයා බැලීම සඳහා, සමුද්‍රීය වපසරිය නිරන්තර අවේක්ෂණය කරමින් තොරතුරු එක්රැස් කිරීම, විශ්ලේෂණය කිරීම සහ එම තොරතුරු දැනගතයුතු පාර්ශවයන් වෙත මුදා හැරීම නාවික හමුදා මූලස්ථානයේ ස්ථාපිත සමුද්‍රීය තොරතුරු විලයන මධ්‍යස්ථානයෙන් ක්‍රියාත්මක වේ.

මෙම අවස්ථාව සඳහා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් වයි. එන්. ජයරත්න, අධ්‍යක්ෂ ජෙනරාල් මෙහෙයුම් රියර් අද්මිරාල් ප්‍රසන්න මහවිතාන යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.