(ඩයනා උදයංගනී)

ජනමාධ්‍ය අමාත්‍යංශයට අදාළ ප්‍රධාන ආයතනවල ඇති යල්පැන ගිය අණපනත් අනාගතයට ගැළපෙන පරිදි සංශෝධනය කිරීමට අවශ්‍ය පියවර ගැනීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.

අමාත්‍යාංශය යටතේ පවතින බොහෝ ආයතනවල පවතින්නේ ඉතා පැරණි අණපනත් බව කී ඇමතිවරයා උදාහරණයක් ලෙස ගතහොත් තැපැල් දෙපාර්තමේන්තු පනත සම්මත වී ඇත්තේ 1908 දී එනම් මීට වසර 113කට පෙරදී යැයි ද සඳහන් කළේය.

එහි සංශෝධන 18ක් සිදුකර ඇතැයි කී ඇමතිවරයා එහි ද අවසන් සංශෝධනය වී ඇත්තේ මීට වසර 48කට පෙර එනම් 1973 දී බවත්, ගුවන් විදුලි සංස්ථා පනත ද 1967 දී එනම් මීට වසර 53කට ගෙන ආ එකක් බවත් කීවේය.

වර්තමානයේ පවතින නව තාක්‍ෂණය, දැනුම අනුව කටයුතු කිරීමේදී පවතින නීති, ආචාරධර්ම හා ප්‍රතිපත්ති වර්තමානයට ගැළපෙන පරිදි සකස් කළ යුතුව ඇතැයි කී ඇමති අලහප්පෙරුම මහතා ඒ සඳහා අමාත්‍ය මණ්ඩලය වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා වන කමිටුවක් පත්කිරීම සඳහා තමන් ඉදිරිපත් කළ යෝජනාවකට මෙලෙස ඇමති මණ්ඩල අනුමැතිය ලැබුණු බව ද පැවසීය.

ඩලස් අලහප්පෙරුම මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද  (24) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුව අමතමිනි.

අනාගතවාදී සමාජයක් උදෙසා වෘත්තීය ශක්තිමත්භාවය වෙනුවෙන් සහ භාණ්ඩාගාරය මත යැපෙන බොහෝ රාජ්‍ය ආයතන ඉන් මුදවා ගැනීමේ අලුත් මාවත් විවෘත කරගැනීමේ අරමුණින් මෙම යෝජනාව ඉදිරිපත් කළ බව ද ඇමතිවරයා කීය.

ප්‍රධාන ආයතනවලට නව තාක්ෂණය මුසුනොවීම නව මංපෙත් විවර කරගැනීමේ දී බොහෝ බාධා මතුව ඇතැයි කී ඇමතිවරයා ආයතන ඩිජිටල්කරණය කිරීම කිරීම කෙරෙහිද අවධානය යොමුව ඇතැයි පැවසීය. 

මීට අමතරව මාධ්‍යවේදීන් වෙත ඇසිදිසි මාධ්‍ය රක්ෂණාවරණය ප්‍රදානය කිරීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් දෙසැම්බර් 02 වැනි දින පෙරවරුවේ දී පැවත්වීමට නියමිත බව ද ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රකාශ කළේය.

මාධ්‍ය ආයතනවල හෝ මාධ්‍යවේදීන්ගේ කිසිඳු දායකත්වයක් නොමැතිව රාජ්‍ය වගකීමක් ලෙස සළකා මෙම කර්තව්‍ය ඉටු කිරීමට තීන්දු කොට ඇතැයි ද හෙතෙම පැවසීය.