(යොහාන් භාසුර)

වෛද්‍ය ප්‍රතිකාර සඳහා පැමිණෙන සංචාරකයින්ගේ ගමනාන්තයක් බවට පත් කිරීම සඳහා ජාත්‍යන්තර මට්ටමේ රෝහල් සහ ප්‍රමාණවත් මානව සම්පත් රට තුළ ඇති බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසයි.

රට තුළ සෑම විනාඩි 10 කට වරක් රිය අනතුරක් සිදුවන අතර ඉන් දිනකට අහිමි වන ජීවිත සංඛ්‍යාව 8 ක් මෙන්ම වාර්ෂිකව මිය යන සංඛ්‍යාව 3000 කට අධික බවත් ඉන් බොහෝ දෙනෙක් සදාකාලික අකර්මණ්‍යත්වයට පත්වන බවත් එම සංගමය කීය.

විවිධ ආයතන මාර්ග ආරක්ෂාව සඳහා නොයෙකුත් ක්‍රියාමාර්ග අනුගමනය කළ ද එම සියලු ආයතන එක්ව නිවැරදි දත්ත මත පදනම්ව ප්‍රතිපත්තිමය තීරණ ගතයුතු බවත් මේ සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට ජනාධිපති කාර්ය සාධක බලකායක් පිහිටුවීමේ අවශ්‍ය බවත් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය සඳහන් කළේය.

අත්‍යාවශ්‍ය ඖෂධ, වෛද්‍ය උපකරණ, විද්‍යාගාර රසායනික ද්‍රව්‍ය අවශ්‍යතාවන්, ආහාර හිඟය සහ එමගින් සමාජයට ඇතිවිය හැකි පෝෂණ ඌනතා වළක්වා ගැනීම ඇතුළු කරුණු ගණනාවක් පිළිබඳ මෙහිදී එම සංගමය අදහස් දැක්වීය.

සෞඛ්‍ය ක්ෂේත්‍රයට බලපාන ගැටලුවලට විසඳුම් සෙවීමේ උපාය මාර්ගික වැඩපිළිවෙළක් ගොඩනගා ගැනීම සඳහා ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයට දිය හැකි සහාය සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේදී පැවති සාකච්ඡාවේදී එම සංගමයේ නියෝජිතයෝ එසේ පැවසූහ.

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති මහාචාර්ය සමත් ධර්මවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායමක් මෙම සාකච්ඡාවට සහභාගි විය

ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත්, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි අනුර දිසානායක, පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න, වෛද්‍ය සභාවේ උප සභාපති වෛද්‍ය සුසන්ත පෙරේරා යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.