(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකා ආර්ථිකයේ නව සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, ඉදිරි වසර පහ සඳහා වන 2026–2030 ජාතික අපනයන සංවර්ධන සැලැස්ම (NEDP) කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹදී නිල වශයෙන් එළිදැක්විණි.

2026–2030 ජාතික අපනයන සංවර්ධන සැලැස්ම (NEDP) යනු 2025 අයවැය යෝජනා යටතේ ශ්‍රී ලංකා රජයේ ප්‍රතිපත්තිමය මඟපෙන්වීමට අනුකූලව, රටේ අපනයන ක්ෂේත්‍රය ශක්තිමත් කිරීම සහ අපනයනය මූලික කරගත් තිරසර ආර්ථික වර්ධනයක් අත්පත් කර ගැනීම අරමුණු කරගනිමින් සකස් කරන ලද ප්‍රධාන ජාතික වැඩසටහනකි. කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ මඟපෙන්වීම මත ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ (EDB) නායකත්වය යටතේ, ආසියා සංවර්ධන බැංකුවේ (ADB) ප්‍රතිපත්ති පාදක ණය (PBL) වැඩසටහන හරහා ලබාදුන් තාක්ෂණික සහාය ඇතිව මෙම උපායමාර්ගික සැලැස්ම සකස් කර ඇත. මෙම සැලැස්ම රජයේ ප්‍රධාන ආයතන, පෞද්ගලික අංශයේ පාර්ශවකරුවන් සහ සංවර්ධන හවුල්කරුවන් සමඟ සමීපව සහයෝගයෙන් සිදු කරන ලද පුළුල් උපදේශන ක්‍රියාවලියක ප්‍රතිඵලයකි.