(තිළිණි ද සිල්වා )
කෝවිඞ් 19 වෛරසය ආසාදනය වී මරණයට පත්වන්නන්ගේ සිරුරු ආදාහනය කිරීමෙන් මුස්ලිම් ජාතිකයින්ගේ මූලික අයිතිවාසිකම් කඩවන බැවින් , එම වසංගතයට ගොදුරු වී මියගිය අයගේ සිරුරු ආදාහනය කළ යුතු බවට රෙගුලාසි පනවමින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය බල රහිත කරන ලෙස ඉල්ලා මුස්ලිම් දේශපාලන පක්ෂ නායකයින් වන රාවුෆ් හකීම් , රිෂාඞ් බදුද්දීන් යන ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් සහ සිවිල් වැසියන් පිරිසක් විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් 12 වැඩිදුර සලකා බැලීම ලබන 30 දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (26) නියම කළේය.
මෙම පෙත්සම බුවනෙක අළුවිහාරේ , සිසිර ද අබෘ , සහ ගාමිණී අමරසේකර යන මහත්වරුන් ගෙන් යුතු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ කැදවූණි.
එහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ එම්.ඒ.සුමන්තිරන් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ මෙම පෙත්සම් වලින් ඉල්ලා තිබෙන සහනය හදිසි කටයුත්තක් සේ සලකා පෙත්සම ඊයේ දිනම සලකා බලන ලෙසය.
එහෙත් අතරමැදි පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ සංජිව ජයවර්ධන මහතා මේ දිනවල ස්වයං නිරෝධායනයට ලක් වූ සිටීම හේතුවෙන් ඊයේ දින අධිකරණය හමුවේ පෙනී සිටීමට නොහැකි තත්වයක් උද්ගතව තිබෙන හෙයින් පෙත්සම් සලකා බැලීම වෙනත් දිනයකට කල් දමන ලෙස ඔහුගේ කනිෂ්ඨ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලීම් කළේය.
එහිදී විවෘත අධිකරණය හමුවේ අදහස් දක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අලුවිහාරේ මහතා කියා සිටියේ මෙවැනි පෙත්සමක් සලකා බැලීමේදී සියලු පාර්ශ්ව අධිකරණය හමුවේ පෙනී සිටීම වැදගත් බවය.
ඒ අනුව මෙම පෙත්සම් සලකා බැලීම ලබන 30 වැනිදා තෙක් කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නායක රාවුෆ් හකීම් , සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක හා එම පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා හිටපු අමාත්‍යවරුන් වන රිෂාද් බදුද්දීන් මහතා අබ්දුල්ලා මොහොමඞ් මහරූෆ් ,අමීර් අලි, ඒ.එම්. මහරූප්,හුසේන් බහිලා යන මහත්වරුන් , ඇතුළු පිරිසක් මෙහි පෙත්සම්කරුවන් වෙති.
සෞඛ්‍ය ඇමැතිනීතී පවිත්‍රා වන්නිආරච්චි, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් , සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් ,සහ නීතිපති මෙහි වගඋත්තරකරුවන් වශයෙන් නම් කරනු ලැබ සිටිති.
කෝවිඞ් වසංගතයට ගොදුරු වී මියගිය අයගේ සිරුරු සම්බන්ධයෙන් කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ සදහන් කරමින් ඉකුත් අප්‍රේල් මස 11වැනිදා ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති බව පෙත්සම්කරුවන් කියා සිටිති .
එහි 61 දරණ රෙගුලාසියට අනුව එම සිරුරු ආදාහනය කළ යුතු නමුදු ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිකුත් කර ඇති මාර්ගෝපදේශ මාලාව අනුව එම සිරුරු ආදාහනය කිරීම හෝ මිහිදන් කිරීමට හැකි බවද පෙත්සම්කරුවෝ කියා සිටිති.
එසේ තිබියදී මෙරට සිදුවන මරණ සම්බන්ධයෙන් කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ ගැසට් නිවේදනයක් නිකුත් කර එම සිරුරු ආදාහනය කළ යුතු බවට රෙගුලාසි පැනවීම තමන් ආණ්ඩුක්‍රම ව්‍යස්ථාව උල්ලංඝනය කිරීමක් බව පෙත්සම්කරුවන් කියා සිටිති .සෙසු රටවල එසේ මියගිය අයගේ සිරුරු ආදාහනය මෙන්ම භූමදාන කරන බවද ඔවූහු සිය පෙත්සම් වලින් පෙන්වා දෙති.
ඉස්ලාම් දහම අදහන මුස්ලිම් ජාතිකයන් එම දහමට අනුව මිහිදන් කල යුතුය. එහෙත් ඊට පටහැනිව යමින් මියගිය අයගේ සිරුරු ආදාහනය කල බවද එය අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමක් බවද පෙත්සම්කරුවෝ කියා සිටිති. එබැවින් මෙම රෙගුලාසි පනවමින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය කියාත්මක වීම අත්හිටුවන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම්කරුවෝ අධිකරණයෙන් ඉල්ලා සිටිති.
පෙත්සම්කාර පාර්ශව වෙනුවෙන් ජනාධිපති නීතීඥවරුන් වන එම්.ඒ.සුමන්තිරන් , ෆායිස් මුස්තාපා , ඉක්‍රාම් මොහොමඞ් , නීතීඥවරුන් වන විරාන් කොරයා , ෆයිසා මුස්තාපා යන මහත්ම මහත්මීහු පෙනී සිටියහ.
COMMENTS
ගරු අධිකරණය මිහිදන් කරන්න අවසර ලබාදෙනවා කියලා අපට විශ්වාසයි.
ලෙඩරෝග විෂබීජවලට ජාති, ආගම්, කුල, මල භේද නැහැ. අපි ප්‍රමුඛත්වය දිය යුත්තේ ජීවත්ව සිටින හා උපදින්නට සිටින ජනතාව ආරක්ෂා කරගැනීමටයි. මැරුණු මිනිහාට ආදාහනය කළත්, භූමදානය කළත් එකයි. නැවත පණ එන්නේ නැහැ. මීට දශක 02කට පමණ පෙර මෘතශරීරයක් ආදාහනය කරන්න පුළුවන් වුණේ ලොකු සල්ලිකාරයෙකුට පමණයි. නගර සභා, ප්‍රාෙද්ශීය සභා මගින් ආදාහනාගාර ඉදිකළාට පසුව තාමයි කාටත් ආදාහනය කරන්න අවස්ථාව ලැබුණේ. කොරෝනාවලින් පසුව කැමැති නම් භූමදානය කරන්න පුළුවන්. ඇමෙරිකාව ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත්වුණා. තමන්ගේ රටට ගැලපෙන විදිහට කටයුතු කරන්න බුද්ධිමත්ව...
මිහිදන් කිරීමට අවසර දෙනවා නම් එය විශාල ප්‍රශ්නයක් වේවි භූගත ජලයට.
මොන ආගමේ, ජාතියේ වුණත් මැරුණාට පස්සේ කොහොම අයින් කළත් මොකද? ඒක තමයි සත්‍යය... දැන් ඔය මරාගෙන මැරෙන ත්‍රස්තවාදියෝ ගැන ඔය කතාව කියනවා අපිට කවදාවත් ඇහිලා නෑනේ. අපරාදේ එයාලගේ භූමදාන අයිතිය නැතිකරගත්තා කියලා... මහපටු අදහස්...