(රසාංජලී වාසල)

එල්නිනෝ හමුවේ පරිසර උෂ්ණත්වය තවදුරටත් ඉහළ ගියහොත් මානසික රෝගවලට ගොදුරුවන පුද්ගලයන්ගේ සංඛ්‍යාවේ ද වැඩිවීමක් සිදුවනු ඇතැයි ගාල්ල ජාතික රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් මහතා පැවැසීය.

ඉහළ යන උෂ්ණත්වය සමග පුද්ගලයන්ගේ කේන්තියාම, නොසන්සුන් බව, මානසික පීඩනය සහ නින්ද නොයාම වැනි ලක්ෂණවල සැලකිය යුතු වෙනස්කම් සිදුවිය හැකි බවත් මීට අමතරව කාංසාව, විශාදය වැනි තත්වය ද ඉහළ යා හැකි බවත් වෛද්‍යවරයා පෙන්වා දුන්නේය.

වැඩිහිටියන්ට සහ දරුවන්ට මෙම තත්වය වැඩි වශයෙන් බලපාන බව ද හෙතෙම පැවැසීය.

දරුවන් අධික උෂ්ණත්වයට භාජනය වීමත් සමග ඉවසීමේ ශක්තිය අඩු වීම, නිතර කේන්ති යාම, අවධානය තබා ගැනීමේ නොහැකියාව වැනි තත්වයන් ඇති විය හැකි බවද හෙතෙම සදහන් කළේය.

අධික උෂ්ණත්වය හමුවේ රියැදුරන්ගේ ක්ෂණික තීරණ ගැනීමේ හැකියාව අඩු වී රිය අනතුරු ඇති වීමට ද දැඩි අවදානමක් පවතින බව වෛද්‍යවරයා පෙන්වා දුන්නේය.

ඉහළ යන උෂ්ණත්වය සමග ජලය පානය කිරීම අඩුවූ විට ශාරීරිකව විජලනය විය හැකි බවත් එය සිහි මද තත්වයන්ට හේතුවිය හැකි බවත් ඔහු අවධාරණය කළේය.