(ඩයනා උදයංගනී)

මෙරටට ගුවන්යානා ඉන්ධන (ජෙට් ඒ 1 ඉන්ධන) සැපයීමේ වෙළඳපල අවස්ථා පුළුල් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී ඇත.

ගුවන්යානා සඳහා අවශ්‍ය ජෙට් ඒ 1 ඉන්ධන සැපයීම ලංකා ඛනිජතෙල් සංස්ථාව මගින් සිදුකළත්, වත්මන් ආර්ථික අර්බුදය හේතුවෙන් එම ඉන්ධන නිපදවන සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ කටයුතු අඩපණවීම හා එම ඉන්ධන ආනයනය අභියෝගාත්මක කාර්යයක් වීම හේතුවෙන් භාණ්ඩ හා මගී ගුවන්යානාවන්ට අවශ්‍ය ඉන්ධන සහතික කිරීමට අපොහොසත් වී ඇතැයි කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (28) පැවසීය.‍

ඒ හේතුවෙන් මෙරට ගුවන්තොටුපල වෙත පැමිණෙන ගුවන්යානා සඳහා අවශ්‍ය ඉන්ධන සැපයීමේ විකල්ප ක්‍රියාමාර්ග කෙරෙහි අවදානය යොමුකරන්නට සිදුව ඇතැයි ද බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේය.

ෙඒ අනුව සපුගස්කන්ද පිරිපහදුවේ නිපදවනු ලබන ජෙට් ඒ 1 ඉන්ධන ගුවන්යානා සඳහා ලබාදීමට බාධාවක් නොවන පරිදි වෙනත් රටවල ගුවන්සේවා වෙත ඉන්ධන සපයන පාර්ශව වෙත උපරිම සැපයීම් සීමා යටතේ මෙරටට එම ඉන්ධන සැපයීමේ අවස්ථාව ලබාදීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කළ බව ද ඇමතිවරයා කීවේය.

බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.