(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ සුමිත් පොතුපිටිය)

පානදුර හිරණ පින් කෑල්ල හත් හැවිරිදි ගොළු  දැරියගේ ඝාතනය සම්බන්ධයෙන්දැ රියගේ මවද අත්අඩංගුවට ගත් බව හිරණ පොලිසිය කියයි.

එම සැකකාරියත් දැරියට පහරදීම සම්බන්ධයෙන් අනාවරණය වූ තොරතුරු අනුව  අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස අවාසනාවන්ත ලෙස ඝාතනයට ලක්ව තිබුනේ බණ්ඩාරගම ගල්තුඩේ ධම්මකිත්ති  ප්‍රාථමික විද්‍යාලයේ විශේෂ  ඒකකයේ අධ්‍යාපනය හැදෑරූ පැල්පොල ගේ රෝෂිණී කවිෂ්කා පෙරේරා  නැමැති දැරියයි.

සැකකාරියගේ අනියම් ස්වාමි පුරුෂයාගේන් දීර්ඝ කාලයක සිට පහර කෑමට දැරිය ලක් වුවද ඒ සම්බන්ධයෙන් සැකකාරිය කිසිදු පියවරක් නොගෙන ඇයද දැරියට වරින්වර අමානුෂික ලෙස පහර දී මේ හේතුවෙන් මෙම මරණය සිදුවී ඇති බව  සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.

දැරියගේ පියා යුද හමුදා විශේෂ බලකායෙ සෙබලෙකු වන  අතර දැරිය සහ දැරියගේ මව මීට වසර කිහිපයකට ඉහත දී අත්හැර දමා යාමෙන් අනතුරුව  දැරිය ජීවත් කරවීම සදහා සැකකාර කාන්තාව යාචක වෘත්තියේ යෙදී ඇති බව පොලිසිය කියයි.

අනතුරුව බණ්ඩාරගම රඹුක්කන ප්‍රදේශයේ  වෙළඳසැලක සේවය කරමින් සිටියදී සැකකරු සමඟ අනියම් සබඳතාවයක් ඇති වී මීට සති තුනකට පමණ ඉහතදී සැකකරු විසින් ඔහුගේ මවගේ ගෙදරට දැරිය  සහ සැකකාරිය කැඳවාගෙන පැමිණ තිබූ බව පොලිසිය කියයි

 එකී කාලය තුළ දී  දැරියට අමානුශික ලෙස පහර දී  ඇති අතර රෝගී තත්ත්වයට පත්ව තිබු දැරිය රෝහල් ගත කිරීමට පවා සැකකරු  හා  සැකකාරිය කිසිදු පියවරක් ගෙන නොතිබූ බව මෙතෙක් සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි පොලීසිය කියයි.

සිද්ධිය වූ නිවස වෙත පැමිණි  පානදුර  ප්‍රධාන මහේස්ත්‍රාත් ජයරුවන්  දිසානායක මහතා දැරිය ගේ මළ සිරුර පරීක්ෂා කිරීමෙන් අනතුරුව දේහය කළුබෝවිල ශික්ෂණ රෝහලේ තැන්පත් කර පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා මරණයට හේතුව සඳහන් වාර්තාව සහ  සැකකරු සහ සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පොලිසියට නියෝග කළේය.

කළුබෝවිල ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය අයන්දි ගුණසේකර මහත්මියද දැරියගේ මළ සිරුර පරික්ෂා කළා ය.

සැකකරු හා සැකකාරිය පානදුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.