(ලක්ෂ්මී ජයකොඩි)

දෙමළ ජන සංහාරයකට වගකිව යුතු බවට චෝදනා කරමින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා එයට සහාය දුන් බව කියන පිරිස ජාත්‍යන්තර යුද අපරාධ අධිකරණය හමුවට ඉදිරිපත් කළ යුතු යැයි උතුරු නැගෙනහිර යුද්ධය හේතුවෙන් බලහත්කාරයෙන් අතුරුදන්වුවන්ගේ ඥාතීන්ගේ සංගමයේ සභාපතිනි ලීලාදේවි ආනන්දන් නඩරාජා මහත්මිය වව්නියාව නගර සභා මණ්ඩපයේදි පැවසුවාය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සල සැසිවාරයට සංදේශයක් යැවීමට තීරණය කර ඇතැයි ද ඇය ප්‍රකාශ කළාය.

මෙම සංදේශයට සිවිල් සංවිධාන, උතුරු නැගෙනහිර පළාත්වල පුජ්‍ය පක්ෂ හා දේශපාලන පක්ෂද සිය සහයෝගය පළ කර ඇති බවත් එම පාර්ශවද මෙම සංදේශයට අත්සන් කරනු ඇති බවත් නඩරාජා මහත්මිය පැවසුවාය.

මෙම සංදේශය සකස් කරමින් පවතින අතර එය කඩිනමින් අත්සන් කර ජීනීවා මානව හිමිකම් සැසිවාරය ආරම්භවීමට මත්තෙන් යැවීමට පියවර ගන්නා බවද කීවාය.

මෙම සංදේශයට සමගාමීව ජනවාර්ගික ගැටලුවට දේශපාලනමය විසඳුම් ලබා ගැනීම, දේශපාලන සිරකරුවන් නිදහස් කර ගැනීම, උතුරු නැගෙනහිර පළාත්වල ඉඩම් ආක්‍රමණ නතර කිරීම වැනි ඉල්ලීම් හා ගැටලු ඇතුළත් කළ තවත් සංදේශයක්ද යැවීමට කටයුතු කරන බවද ඇය සඳහන් කළාය.