(අංජුල මහික වීරරත්න)

ඉදිකිරීම් කර්මාන්තයට අදාළව 'ගංගා වැලි ' (River Sand) යන යෙදුම වෙනුවට ' සියුම් සමාහාරක ' (Fine Aggregate) යන යෙදුම ආදේශ කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

පාරිසරික වශයෙන් සංවේදී ප්‍රදේශ වල ගංගා වැලි කැණීම සීමා කිරීම සහ වැලි ප්‍රවාහනය කිරීම සඳහා වන සීමාවන් හේතුවෙන් ඉදිකිරීම් කර්මාන්තය මේ වන විට ගංගා වැලි හිඟයකට මුහුණ දෙමින් සිටී. එහි ප්‍රතිඵලයක් ලෙස, ගංගා වැලිවල මිල ගණන් සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇති අතර, එමඟින් රජයේ සහ පෞද්ගලික අංශයේ ඉදිකිරීම් ව්‍යාපෘති කෙරෙහි සැලකිය යුතු මුල්‍ය පීඩනයක් එල්ල කර ඇත.

 එබැවින්, ගංගා වැලි සඳහා විකල්පයන් වශයෙන්, නිෂ්පාදිත වැලි (M- වැලි), සිහින්ව කුඩු කරන ලද පාෂාණ (Crushed Rock Fines), අක්වෙරළ වැලි සහ අනෙකුත් සුදුසු ද්‍රව්‍ය විධිමත් පරිදි හඳුනා ගැනීම හා භාවිතය පහසු කිරීම පිණිස, 'සියුම් සමාහාරක' (Fine Aggregate) යන පුළුල් යෙදුම එම ද්‍රව්‍යයන් සියල්ලම සඳහා යොදා ගැනීම යෝග්‍ය බව හඳුනාගෙන තිබේ.

ඒ අනුව, මිලිමීටර 4 ප්‍රමාණයේ හලනයකින් හැලිය හැකි ඉහත සඳහන් කණිකාමය ද්‍රව්‍ය ' සියුම් සමාහාරක ' ලෙස අර්ථ දක්වමින්, එම යෙදුම ඉදිකිරීම් සම්බන්ධයෙන් වන සියලුම පිරිවිතරයන්හි හා මාර්ගෝපදේශයන් න්හි ' ගංගා වැලි' යන යෙදුම වෙනුවට ආදේශ කිරීමට හැකි වන පරිදි 2014 අංක 33 දරන ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන පනතේ විධිවිධාන ප්‍රකාරව නියෝග ප්‍රකාශයට පත් කිරීම පිණිස නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.