(මනෝප්‍රිය ගුණසේකර)

විභාග අක්‍රමිකතාවයන් කර තමන්ගේ කාලය, ශ්‍රමය හා මුදල් නිරපරාදේ නාස්ති කිරීම හේතුවෙන් කොළඹ විශ්ව විද්‍යාලයේ පාලනාධිකාරියෙන් රුපියල් ලක්ෂ 50ක වන්දියක් අයකර දෙන්නැයි ඉල්ලා කොළඹ විශ්ව විද්‍යාලයේ සිසුවෙකු පවරා ඇති නඩුවේ වගඋත්තරකරුවන් වශයෙන් නම් කර සිටින කොළඹ විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා කථිකාචාර්යවරුන් ඇතුළු නිලධාරීන් හත්දෙනකුට ලබන 10 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් නුගේගොඩ දිසා විනිසුරු ආර්.ඒ.එන්. රාජපක්‍ෂ මහතා නොතිසි නිකුත් කළේය.

මුලින් විභාගය අසමත් කළ සිසුන් යළිත් විභාගයක් හෝ නොපවත්වා පසු අවස්ථාවක විභාගය සමත් කළේ කෙසේද? යන්න පිළිබඳව විශ්ව විද්‍යාල පාලනාධිකාරියෙන් ප්‍රශ්න කරමින් පවරා ඇති වන්දි නඩුව ලබන 10 වැනිදා කැඳවීමට නියම කළ දිසා විනිසුරුවරයා එදින අධිකරණයේ පෙනී සිටිමින් උත්තර ඇත්නම් ඉදිරිපත් කිරීමට කොළඹ විශ්ව විද්‍යාලයේ නිලධාරීන්ට නියම කරමින් නොතිසි නිකුත් කළේය.

අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් නිකුත් කළ නොතිසි ලියාපදිංචි තැපෑලෙන් සහ අධිකරණ පිස්කල්වරයා මාර්ගයෙන් කොළඹ විශ්ව විද්‍යාලයේ කළමනාකරණ හා මූල්‍ය පීඨයේ කථිකාචාර්යවරුන් වන ඩී.සී.එල්. දියගුආරච්චි, ඩබ්ලිව්.පී. ප්‍රේමරත්න, එහි අංශ ප්‍රධානී සෂිකා අබේධීර මනෝරත්න, පීඨාධිපති එච්.එම්. නිහාල් හෙන්නායක, විභාග අංශයේ අතිරේක ලේඛකාධිකාරී වජිරා හපූහින්න ජයරත්න, කොළඹ විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපති එච්.ඩී. කරුණාරත්න, උපකුලපති ඉන්දික මහේෂ් කරුණාතිලක යන මහත්ම මහත්මීන්ට සහ නීතිපතිවරයාට බාරදෙන ලෙස දිසා විනිසුරුවරයා වැඩිදුරටත් නියම කළේය.

කොළඹ සරසවියේ කළමනාකරණ හා මූල්‍ය පීඨය මගින් පවත්වනු ලබන ව්‍යවසායකත්ව හා කුඩා ව්‍යාපාර කළමනාකරණ උසස් ඩිප්ලෝමා පාඨමාලාව හදාරන සිසුවකු වූ සනත් කුමාර අතුකෝරළ මහතා මෙම වන්දි නඩුව ගොනු කර ඇත.