(මනෝප්‍රිය ගුණසේකර)

විභාග අක්‍රමිකතාවයන් කර තමන්ගේ කාලය, ශ්‍රමය හා මුදල් නිරපරාදේ නාස්ති කිරීම හේතුවෙන් කොළඹ විශ්ව විද්‍යාලයේ පාලනාධිකාරියෙන් රුපියල් ලක්ෂ 50ක වන්දියක් අයකර දෙන්නැයි ඉල්ලා කොළඹ විශ්ව විද්‍යාලයේ සිසුවෙකු පවරා ඇති නඩුවේ වගඋත්තරකරුවන් වශයෙන් නම් කර සිටින කොළඹ විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා කථිකාචාර්යවරුන් ඇතුළු නිලධාරීන් හත්දෙනෙකුට ලබන 10 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් නුගේගොඩ දිසා විනිසුරු ආර්..ඒ..එන්.. රාජපක්‍ෂ මහතා නොතිසි නිකුත් කළේය.

මුලින් විභාගය අසමත් කළ සිසුන් යළිත් විභාගයක් හෝ නොපවත්වා පසු අවස්ථාවක විභාගය සමත් කළේ කෙසේද? යන්න පිළිබඳව විශ්ව විද්‍යාල පාලනාධිකාරියෙන් ප්‍රශ්ණ කරමින් පවරා ඇති වන්දි නඩුව ලබන 10 වැනිදා කැඳවීමට නියම කළ දිසා විනිසුරුවරයා එදින අධිකරණයේ පෙනී සිටිමින් උත්තර ඇත්නම් ඉදිරිපත් කිරීමට කොළඹ විශ්ව විද්‍යාලයේ නිලධාරීන්ට නියම කරමින් නොතිසි නිකුත් කළේය.

අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් නිකුත් කළ නොතිසි ලියාපදිංචි තැපෑලෙන් සහ අධිකරණ පිස්කල්වරයා මාර්ගයෙන් කොළඹ විශ්ව විද්‍යාලයේ කළමනාකරණ හා මූල්‍ය පීඨයේ කථිකාචාර්යවරුන් වන ඩී.සී.එල්. දියගුආරච්චි, ඩබ්ලිව්.පී. ප්‍රේමරත්න, එහි අංශ ප්‍රධානී සෂිකා අබේධීර මනෝරත්න, පීඨාධිපති එච්.එම්. නිහාල් හෙන්නායක, විභාග අංශයේ අතිරේක ලේඛකාධිකාරී වජිරා හපූහින්න ජයරත්න, කොළඹ විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපති එච්.ඩී. කරුණාරත්න, උපකුලපති ඉන්දික මහේෂ් කරුණාතිලක යන මහත්ම මහත්මීන්ට සහ නීතිපතිවරයාට බාරදෙන ලෙස දිසා විනිසුරුවරයා වැඩිදුරටත් නියම කළේය.

කොළඹ සරසවියේ කළමනාකරණ හා මූල්‍ය පීඨය මගින් පවත්වනු ලබන ව්‍යවසායකත්ව හා කුඩා ව්‍යාපාර කළමනාකරණ උසස් ඩිප්ලෝමා පාඨමාලාව හදාරන සිසුවෙකු වූ සනත් කුමාර අතුකෝරළ මහතා මෙම වන්දි නඩුව ගොනු කර ඇත.

සනත් කුමාර අතුකෝරළ මහතා මෙලෙස නඩු පවරා ඇත්තේ කොළඹ විශ්ව විද්‍යාලයේ කළමනාකරණ හා මූල්‍ය පීඨයේ කථිකාචාර්යවරුන් වන ඩී.සී.එල්. දියගුආරච්චි, ඩබ්ලිව්.පී. ප්‍රේමරත්න, එහි අංශ ප්‍රධානී සෂිකා අබේධීර මනෝරත්න, පීඨාධිපති එච්.එම්. නිහාල් හෙන්නායක, විභාග අංශයේ අතිරේක ලේඛකාධිකාරී වජිරා හපූහින්න ජයරත්න, කොළඹ විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපති එච්.ඩී. කරුණාරත්න, උපකුලපති ඉන්දික මහේෂ් කරුණාතිලක යන මහත්ම මහත්මීන්ට සහ නීතිපතිවරයාට එරෙහිවය.

නීතිඥ දනෝෂා පෙරේරා මහත්මිය මගින් සිය පැමිණිල්ල ඉදිරිපත් කරන සනත් කුමාර අතුකෝරල මහතා කොළඹ විශ්ව විද්‍යාලයේ කළමනාකරණ හා මූල්‍ය පීඨය මගින් පවත්වනු ලබන ව්‍යවසායකත්ව හා කුඩා ව්‍යාපාර කළමනාකරණ උසස් ඩිප්ලෝමා පාඨමාලාව 2022/2023 හැදෑරීම සඳහා කළ ඉල්ලීමකට අනුව එම පාඨමාලාව හැදෑරීම සඳහා කොළඹ විශ්ව විද්‍යාලයෙන් තමන් බඳවා ගත් බවත්‍් පාඨමාලාවේ පළමු තෙස්තමේන්තුවේදී කිසිදු අර්බුදයක් උද්ගත නොවූ නමුත් දෙවැනි තෙස්තමේන්තුවේදී 508 විෂය වශයෙන් හඳුන්වනු ලබන ‘කුඩා ව්‍යාපාර සඳහා මෙහෙයුම් කළමනාකරණය’ සහ 510 විෂය වශයෙන් හඳුන්වනු ලබන ‘ව්‍යාපාර උපායමාර්ග හා තිරසාරභාවය’ විෂයන්වලදී තමන්ට විශාල අසාධාරණයක් වූ බවත් සඳහන් කර ඇත.

508 විෂය ඉගැන්වූ කථිකාචාර්ය ඩී.සී.එල්. දියගුආරච්චි මහත්මිය එක් අවස්ථාවක සිසුවකු මාර්ගයෙන් මුදල් හදිස්සියක් බව පවසමින් ඇගේ ගිණුමට රුපියල් 80000/-ක මුදලක් බැර කරන ලෙස තමාගෙන් ඉල්ලා සිටි නමුත් තමා ඊට එකඟ නොවූ බව පෙත්සම්කාර සනත් කුමාර අතුකෝරල මහතා සඳහන් කර ඇත.

එම සිද්ධියෙන් අනතුරුව 2024 මැයි 18 සහ 19 වැනි දිනවල කිරිඇල්ල ‘විජය රිෂෝට්’ ආයතනයේදී පාඨමාලාවට අදාළ දෙදින වැඩමුළුවක් සංවිධානය කර තිබූ බවත් එම වැඩමුළුවට විශ්ව විද්‍යාලයට කිසිඳු සම්බන්ධකමක් නැති දියගුආරච්චි මහත්මියගේ සැමියාද පැමිණ සිටි බවත් සඳහන් කරන අතුකෝරල මහතා එක් සිසුවකු පැමිණ දියගුආරච්චි මහත්මියගේ සැමියාට තමාගේ කාමරයේ නවාතැන් ගැනීමට ඉඩදෙන ලෙස කළ ඉල්ලීමට තමා විරුද්ධත්වය පළ කළ බවත් මෙම සිදුවීම් වලින් අනතුරුව කථිකාචාර්ය දියගුආරච්චි මහත්මිය තමා සමඟ වෛරයක් ඇතිකරගත් බවත් සඳහන් කර ඇත.

මෙම සිදුවීම් වලින් අනතුරුව පැවති විභාගයේදී 508 විශේෂ සඳහා ඇය නියමිත ලකුණු දීමේ ක්‍රියාපටිපාටියෙන් බැහැරව ගොස් අසාධාරණ” අත්තනෝමතික හා පළිගන්නා අන්දමින් තමන්ට අගතිදායක වන ලෙස අඩු ලකුණු ලබා දී තමන් විභාගයෙන් අසමත් කර ඇතැයි පවසන පෙත්සම්කාර සනත් අතුකෝරල මහතා විභාගය පැවැත්වීමට පෙරම ඇය විභාගයේදී එන ප්‍රශ්න මොනවාද? යන්න වෙනත් සිසු කණ්ඩායමකට හෙළි කර ඇති බවටද චෝදනා කර සිටි.

2025 ජනවාරි මාසයේදී තමන් මේ ආකාරයෙන් අසමත් කර ප්‍රතිඵල නිකුත් කිරීමෙන් අනතුරුව තමා මේ පිළිබඳව විශ්ව විද්‍යාල පාලනාධිකාරියට පැමිණිලි කල බවත් 2025 අප්‍රේල් මාසයේදී තමන් ඇතුළු සිසුන් කීහිපදෙනෙකු විභාගය සමත් වී ඇති බව දක්වමින් නව ප්‍රතිඵල ලේඛණයක් නිකුත් කර ඇතැයි පවසන පෙත්සම්කාර අතුකෝරළ මහතා ජනවාරි මාසයත් අප්‍රේල් මාසයත් අතර කාලය තුළදී මේ විෂයට අදාළව කිසිදු විභාගයක් නොපැවැත්වූ බවද අවධාරණය කර සිටි.

510 විෂය සඳහා බාහිර ක්‍රියාකරකමක් වශයෙන් එක් සිසුවකුගෙන් රුපියල් 3500/- බැගින් මුදල් එකතු කර කණ්ඩායම් ව්‍යාපෘතියක් පැවැත්වූ බවත් එම ව්‍යාපෘතිය සඳහා සිසුන් පිරිසක් මුදල් දී ව්‍යාපෘතියටද සක්‍රීයව සම්බන්ධ වුවත් නම් සඳහන් කළ සිසුන් කීහිපදෙනෙකු මුදල් ලබා දුන්නත්” ව්‍යාපෘතියට සක්‍රීයව සම්බන්ධ නොවූ බව පෙන්වා දෙන පෙත්සම්කරු ව්‍යාපෘතියට සක්‍රීයව සම්බන්ධ වූ සිසුන්ට මෙන්ම ව්‍යාපෘතියට සක්‍රීයව සම්බන්ධ නොවූ එම සිසු පිරිසටද විෂය බාරව කටයුතු කළ කථිකාචාර්යවරයා සම්පූර්ණ ලකුණු දී ඇති බවටද චෝදනා කර සිටි.

නියමිත ලකුණු දීමේ ක්‍රියාපටිපාටිය අනුව කටයුතු කළා නම් තමන්ට ඉහළ සාමාර්ථයක් ලබා ගැනීමට තිබූ අවස්ථාව කථිකාචාර්යවරුන්ගේ මෙම අත්තනෝමතික, අනීතික හා අසාධාරණ ක්‍රියාවලීන් හේතුවෙන් තමන්ට අහිමි වූ බව පෙන්වා දෙන පෙත්සම්කාර අතුකෝරළ මහතා මේ සම්බන්ධයෙන් තමන් විශ්වවිද්‍යාලයේ ඉහළ පාලනාධිකාරයට මෙන්ම අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂමටද කළ පැමිණිලිවලට අනුව ආරම්භ කළ විමර්ශන තවමත් සිදුවන බවද පෙන්වා දී ඇත.

මුලින් විභාගය අසමත් කළ සිසුන් යළිත් විභාගයක් හෝ නොපවත්වා පසු අවස්ථාවක විභාගය සමත් කළේ කෙසේද? යන්න පිළිබඳව විශ්ව විද්‍යාල පාලනාධිකාරියෙන් තමන්ට මෙතෙක් සාධාරණ හේතුවක් ඉදිරිපත් කර නැතැයි සඳහන් කරන සනත් කුමාර අතුකෝරළ මහතා වගඋත්තරකාර විශ්වවිද්‍යාල බලධාරීන් අනීතික සහ නීතිවිරෝධී ක්‍රමෝපායන් අනුගමනය කරමින් මුලින් විභාගය අසමත් වූ බව පැවසූ සිසු පිරිස පසු අවස්ථාවක විභාගය සමත්කර දී ඇති බවටද චෝදනා කර සිටි.

විශ්ව විද්‍යාලයේ මෙම විභාග අක්‍රමිකතාවය පිළිබඳ ඉහළ බලධාරීන්ට පැමිණිලි කරන ලඳුව ඒ පිළිබඳව විමර්ශනයක් පැවැත්වෙන බවත් එම විමර්ශනය අවසන් කර නොතිබියදී තමාගේ විරෝධයද නොතකා විශ්ව විද්‍යාල බලධාරීන් විසින්  විභාගය අසමත් වූ සිසුවකුටද උපාධිය ප්‍රදානය කර ඇතැයි චෝදනා කරන පෙත්සම්කාර අතුකෝරල මහතා කොළඹ විශ්ව විද්‍යාලයේ මෙම නීතිවිරෝධී හා වංචනික ක්‍රියාකලාපය හේතුවෙන් තමාට අදාළ පාඨමාලාවෙන් බලාපොරොත්තු වූ ප්‍රතිඵල ලබා ගැනීමට නොහැකි වූ බවටත් මිතුරන් අතර තමා සමච්චලයට ලක්ව ඇති බවටත් චෝදනා කර ඇත.

කොළඹ විශ්ව විද්‍යාලයේ වගඋත්තරකාර බලධාරීන්ගේ ක්‍රියාකලාපය හේතුවෙන් තමාගේ කාලය, ශ්‍රමය මෙන්ම ධනයද නිස්කාරණයේ නාස්ති වී ඇති බවට චෝදනා කරන සනත් කුමාර අතුකෝරළ මහතා තමාට සිදුවූ අලාභය වෙනුවෙන් වගඋත්තරකාර විශ්වවිද්‍යාල බලධාරීන්ගෙන් රුපියල් ලක්‍ෂ 50ක වන්දියක් අයකර දෙන්නැයි ඉල්ලීමක්ද කර ඇත.

පෙත්සම ලබන 10 වැනිදා කැඳවීමට නියම කළ දිසා විනිසුරුවරයා එදින අධිකරණයේ පෙනී සිට නඩුව සඳහා යම් උත්තරයක් ඇත්නම් ඉදිරිපත් කිරීමට කොළඹ විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා කථිකාචාර්යවරුන් ඇතුළු නිලධාරීන් හත්දෙනාට නියම කළේය.