
(ගයාන් සූරියආරච්චි)
වෙල්ලාවේලි පොලිසියේ රාජකාරී කරන අවිවාහක පොලිස් කොස්තාපල්වරයකුට නිවසේ සිට රාජකාරියට පැමිණීම සදහා මඩකලපුව කොට්ඨාස භාර පොලිස් අධිකාරීවරයාගේ නිර්දේශ ලබාදීම සදහා ජංගම දුරකතනයක් හා රුපියල් 72,000 ක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් බව කියන නුවරඑළිය සහකාර පොලිස් අධිකාරී කාර්යාලයේ සහකාර පොලිස් අධිකාරීවරයකු සහ කල්මුණේ සහකාර පොලිස් අධිකාරී කාර්යාලයේ කාන්තා පොලිස් සැරයන්වරියක අද (5) අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි.
වෙල්ලාවේලි පොලිසියේ රාජකාරී කරනු ලබන පොලිස් කොස්තාපල්වරයකු විසින් කළ පැමිණිල්ලකට අනුව අල්ලස් කොමිසම විමර්ශන ආරම්භ කර තිබුණි.
ඒ අනුව අල්ලස් කොමිසමේ නිලධාරීන් කණ්ඩායමක් එම සිද්ධියට සම්බන්ධ නුවරඑළිය සහකාර පොලිස් අධිකාරී කාර්යාලය තුළදී සහ කල්මුණේ පොලිස් අධිකාරී කාර්යාලයේදී එම සහකාර පොලිස් අධිකාරීවරයා සහ කාන්තා පොලිස් සැරයන්වරිය අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා නුවරඑළිය සහ කල්මුණේ මහේස්ත්රාත් අධිකරණවලට ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණි.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වැඩිදුර විමර්ශන සිදුකරයි.
COMMENTS
නියමයි. පොලිසිය සුද්ද කළොත් රටට, ජනතාවට සෑහෙන හොඳක් වෙයි...