(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

කොළඹ ප්‍රදේශයේ දී පුද්ගලයන් තිදෙනකුට වෙඩි තබා බරපතළ තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් අවශ්‍යව සිටි පුද්ගලයකු විදේශ රටක නිෂ්පාදිත ගිනි අවියක් සහ හොරයින් මත්කුඩු සමග රාජගිරිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරු සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික රන් සෙම්බුව ගේ චාමර සම්පත් නොහොත් ආමි සම්පත් නමැත්තා ගේ වෙඩික්කරු ලෙස කටයුතු කරන පුද්ගලයා බවට විමර්ශනවලදී අනාවරණය වූ බව පොලිසිය කියයි.

සැකකරු සමඟ හා විදේශීය රටක නිෂ්පාදිත 9 එම් එම් වර්ගයේ ගිනි අවියක් සහ එයට යොදන ජීව පතරොම් එකොළහක් , හොරයින් මත්කුඩු ග්‍රෑම් 5 මිලිගෑම් 11 ක් හා අපරාධයන් සඳහා යොදාගත් යතුරු පැදියක් පොලිසිය භාරයට ගෙන ඇත.

කොළඹ අපරාධ කොට්ඨාසයට ලද තොරතුරක් අනුව සැකකරු පදිංචි රාජගිරිය මොරගස්මුල්ල ප්‍රදේශයේ නිවස වටලා සිදු කළ පරික්ෂාවේදී අල්මාරිය තුල සඟවා තිබූ මත්කුඩු තොගය සහ ගිනි අවිය මෙන්ම ජීව උණ්ඩ සොයාගත් බව පොලිසිය කියයි.

සැකකරු අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.