(මනෝප්‍රිය ගුණසේකර)

කොළඹ විශ්ව විද්‍යාලයේ ඇතැම් විභාග වලට ඉදිරිපත් වන සිසුන් මුදලට සමත් කිරීම හා ඩිප්ලෝමා පාඨමාලාවන් සම්බන්ධ විභාග වලදී විශ්ව විද්‍යාල බලධාරීන් විවිධ අක්‍රමිකතාවයන් කරන ලදැයි කියන සිද්ධීන් සම්බන්ධයෙන් අල්ලස් කොමිසමට විමර්ශනයක් ආරම්භ කර ඇත.

කොළඹ විශ්ව විද්‍යාලයේ ඇතැම් විභාග වලට ඉදිරිපත් වන සිසුන් මුදලට සමත් කරන බවට හා ඩිප්ලෝමා පාඨමාලාවන් සම්බන්ධ විභාග වලදී විශ්ව විද්‍යාල බලධාරීන් විවිධ අක්‍රමිකතාවයන් කරන බවට එම විශ්ව විද්‍යාලයේ කළමණාකරණ උසස් ඩිප්ලෝමා පාඨමාලාව හදාරණ සිසුන් පිරිසක් කළ පැමිණීල්ලකට අනුව අල්ලස් කොමිසම මෙම විමර්ශනය ආරම්භ කර ඇත.

කොළඹ විශ්ව විද්‍යාලයේ සමහර ආචාර්්‍යවරුන් ඔවුන්ට හිතවත් සිසුන්ට විභාගයට පෙර විභාගයට එන ප්‍රශ්න හෙළි කරන බවටද සමහර ආචාර්්‍යවරුන් මුදල් ලබාගෙන ලකුණු දී ඇති බවටද පැමිණීලි කරන සිසුන් ආචාරවරුන්ගේ උවමනාවන්ට අනුගත නොවන සිසුන් විභාග අසමත් කර ඔවුන්ගෙන් පළි ගැනීමට ක්‍රියා කරන බවටද කරුණු සහිතව සිය පැමිණීල්ල මඟින් අල්ලස් කොමිසමට පෙන්වා දී තිබිණී.

විභාග සඳහා සම්මත ක්‍රමවේද, කණ්ඩායම් ව්‍යාපෘති, ලකුණු දීමේ සම්මත ක්‍රමවේද, විශ්ව විද්‍යාල පාඨමාලාවන් සඳහා ඇති සම්මත ක්‍රමවේද, සියල්ල ඇතැම් ආචාරවරුන්ගේ උවමනාවන් මත උල්ලංඝණය කර ඇති බවටද විභාග සඳහා පෙනී සිටි ඇතැම් සිසුන් විභාග අසමත් කිරීමෙන් පසු ඒ පිළිබඳ ප්‍රශ්ණ කිරීමේදී අසමත් කළ සිසුන් යළි සමත් කරමින් ප්‍රථිපල ලේඛණ නිකුත් කර ඇති බවටද චෝදනා කරන සිසුන් ඒ සම්බන්ධයෙන් කළ පැමිණීලි විභාග කිරීමකින් තොරව විශ්ව විද්‍යාල බලධාරීන් විසින් උපාධි ප්‍රදානය කර ඇති බවද පෙන්වා දී ඇත.

විශ්ව විද්‍යාල බලධාරීන්ගේ මෙම ක්‍රියාකලාපය අල්ලස් පනත යටතේ වරදවල් බව පෙන්වා දෙන සිසුන් කොළඹ විශ්ව විද්‍යාලයේ ඩිප්ලෝමා පාඨමාලාවන්ගේ ගුණාත්මකභාවය ආරක්‍ෂා කිරීමට කටයුතු කරන ලෙසත් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙසත් ඉල්ලමින් අල්ලස් කොමිසමට මෙම පැමිණීල්ල යොමු කර ඇත.

කොළඹ විශ්ව විද්‍යාලයේ කළමණාකරණ උසස් ඩිප්ලෝමා පාඨමාලාව හදාරණ සිසුන් කළ පැමිණීල්ල සම්බන්ධයෙන් අල්ලස් කොමිසම කළ මුලික අධ්‍යනයකින් අනතුරුව කොළඹ විශ්ව විද්‍යාලයේ ඇතැම් ආචාර්්‍යවරුන් විසින් විභාග වලින් සිසුන් මුදලට සමත් කරන බවට හා විශ්ව විද්‍යාල බලධාරීන් විසින් විවිධ අක්‍රමිකතාවයන් කරන ලදැයි කියන සිද්ධීන් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විමර්ශනය ආරම්භ කර ඇත.

මේ සම්බන්ධයෙන් කොළඹ විශ්ව විද්‍යාලයේ ස්ථාවරය දැන ගැනීම සඳහා  එහි උප කුලපති ඉන්දික මහේෂ් කරුණාතිලක මහතාගේ කාර්යාලයට ඇමතුමක් ගත් විට මේ පිළිබඳව කොළඹ විශ්ව විද්‍යාලයේ ලේඛාධිකාරී සංජීවනී පෙරේරා මහත්මියගෙන් විමසන ලෙස දැනුම් දුන් අතර ඒ අනුව සංජීවනී පෙරේරා මහත්මියගේ කාරියාලයට ඇමතුමක් ගත් විට එහි සිටි නිලධාරිණීයක් දැනුම් දුන්නේ ‘රේජිස්ට්‍රාර් මිස් මීටීන් එකක යනුවෙනි’ මේ තත්වය හේතූවෙන් මීට අදාළ කොළඹ විශ්ව විද්‍යාලයේ ස්ථාවරය දැන ගැනීමට නොහැකි විය.