(අංජුල මහික වීරරත්න)

කොළඹ නගරය සහ අවට ප්‍රදේශ වල ගංවතුර පාලනය සඳහා ඇල වේලි ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩසටහන ඇරඹූ බව නගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යංශය පවසයි.

මෙම ව්‍යාපෘතිය සඳහා මහා භාණ්ඩාගාරය විසින් ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ සංස්ථාවට රුපියල් මිලියන 595 ක භණ්ඩාගාර ප්‍රතිපාදන වෙන්කර තිබේ.

කොළඹ නගරයේ ප්‍රධාන ඇල මාර්ග පද්ධතිය කිලෝමීටර 44කින් සමන්විත වන අතර මෙම බොහෝ වැව් හා ඇළ මාර්ගවල ජපන් ජබර වැනි ආක්‍රමණශීලි වල් පැළැටි සහ දුගඳ හමන, රොන් මඩ, ප්ලාස්ටික් බෝතල්, බියර් කෑන්, සෙරෙප්පු, සනීපාරක්ෂක ද්‍රව්‍ය, අප ජලය හා තෙල් වර්ග ආදියෙන් පිරී පවතින බවත්  මේ හේතුවෙන් ඉතා සුළු වර්ෂා තත්ත්වයකදී වුවද කොළඹ නගරයේ ප්‍රධාන මං මාවත් වතුරෙන් යටවන බවත් අමාත්‍යාංශය කියයි.

එබැවින් කොළඹ නගරය හා ඒ අව‍ට පිහිටි ප්‍රධාන ඇල මාර්ග පද්ධතිය, ජල රැඳවුම් හා ඒ ආශ්‍රිත ව්‍යායාම මංතීරු පොකුණු හා උද්‍යාන නඩත්තු කිරීමේ කටයුතු කඩිනම් කරන ලෙස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ සංස්ථාවට උපදෙස් දී තිබේ.