(තරිඳු ජයවර්ධන සහ නිමන්ති රණසිංහ)
කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නෙවිල් ද සිල්වා මහතාට පොලිස්පතිවරයා විසින් ලබා දෙනු ලැබූ ස්ථාන මාරුව අවලංගු කරන ලෙස ජාතික පොලිස් කොමිෂන් සභාව අද (14) නියෝග කළේය.
මහාචාර්ය සිරි හෙට්ටිගේ මහතාගේ වැඩ බලන සභාපතිත්වයෙන් අද (14) රැස්වූ ජාතික පොලිස් කොමිෂන් සභාව මෙම තීරණය ගත්තේ නෙවිල් ද සිල්වා මහතා විසින් කරන ලද අභියාචනයක් සැලකිල්ලට ගනිමිනි.
අත්අඩංගුවට ගත් සැකකරුවකු සම්බන්ධයෙන් නීත්‍යනුකූල නොවන ක්‍රියාවක් සිදු කරන්නැයි පොලිස් ප්‍රධානීන් දෙදෙනකු ලබා දුන් නීති විරෝධී නියෝගයක් ක්‍රියාත්මක නොකළ නිසා තමාට මෙම ස්ථාන මාරුව ලබා දී ඇතැයි කියමින් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා මෙම අභියාචනය සිදු කර තිබිණි.
ප්‍රධාන පොලිස් පරීක්ෂක නෙවිල් සිල්වා මහතා කොළඹ අපරාධ කොට්ඨාසයෙන් ඉවත් කර පොලිස් මූලස්ථානයේ සාමාන්‍ය රාජකාරි සඳහා යොදවා ඇත්තේ ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතියකින් තොරව බව ද ජාතික පොලිස් කොමිෂන් සභාව කියයි.
ඒ අනුව ඔහු පොලිස් මූලස්ථානයට අනියුක්ත කරමින් සහ පොලිස් මූලස්ථානයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ජී එච් ජානක මහතා කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ලෙස පත් කරමින් ලබා දුන් නියෝගය අත්හිටුවන ලෙස ජාතික පොලිස් කොමිෂන් සභාව නියෝග කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ රටේ නීතියක් ස්ථාපිත කරන්න නම් කිසිම පාලකයෙකුට වුවනාවක් නැහැ. පොලිස් කොමිසමේ නියෝගවලට පිටුපායමින් තමන්ට හිතෙන දේ කරන්න පොලිස්පතිට පුළුවන්ද? එක්කෝ කොමිසම වැඩක් නැහැ නැත්නම් පොලිස්පති වැඩක් නැහැ. මෙතන තිබෙන බලතල අවුල නිවැරදි කරන්න බැරි ආණ්ඩුවෙන් වැඩකුත් නැහැ...
පොලිස්පතිට තමාගේ ආයතනයේ විනය පවත්වාගෙන යන්නට මොවුන් ඉඩක් තියන්නේ නැතිම පාටයි.
නීත්‍යානුකුලව පිහිටවනු ලැබූ කොමිසම පොලිස්පතිවරයා විසින් එය මගහරිමින් කටයුතු වරදක් නේද? ඊට දඩුවමක් නැද්ද?
මේක අපුරු වැඩක්නේ. සැකකරුවෙකු සම්බන්ධව නීත්‍යානුකුල නොවන ක්‍රියාවක් කිරීමට ඉහළ නිලධාරීන් දෙදෙනෙකු ලබාදුන් නීති විරෝධී නියෝගයක් ක්‍රියාත්මක නොකිරීම නිසායි මේ දේ සිදුවී ඇත්තේ. මේ නීති විරෝධී නියෝගය දුන් ඉහළ නිලධාරීන් දෙදෙනාත්, එම නියෝගයත් වහාම රටට හෙළිකළ යුතුයි. එසේම ඔවුන් දෙදෙනාටත්, ඔවුන්ට අනුබල දුන් පොලිස්පති වරයාටත් එරෙහිව වහාම නිසි පියවර ගත යුතුයි.
නීති විරෝධී මාරුව දුන් පොලිස්පතිට මොකද වෙන්නේ
මේ නීති විරෝධී නියෝග දුන් පොලිස් ලොක්කන්ට මුකුත් දඬුවමක් නැද්ද ??