(අමදෝරු අමරජීව)

වලංගු බලපත්‍රයක් නොමැතිව නිසි බලධාරියෙකුගේ අවසරයකින් තොරව වෙරළ කලාපය තුළ අනවසර ඉදිකිරීමක් සිදුකර බුදු පිළිමයක් තැන්පත් කිරීම සම්බන්ධයෙන්වන නඩුව ඊයේ (28) යළි කැඳවූ අවස්ථාවේ වරාය පොලිසිය විසින් සැකකරුවන්ට එරෙහිව චෝදනා අටක් ගොනුකර ඉදිරිපත් කළ අතර එම චෝදනාවන්ට නිවැරදිකරුවන් බව බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිස ප්‍රකාශ කිරීමෙන් පසු අදාළ නඩු විභාගය ලබන පෙබරවාරි දෙවැනිදාට කල්තැබූ ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් එම්.එස්.එම්.සන්සුදීන් මහතා සැකකරුවන් එදින දක්වා යලි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියම කළේය.

ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහය සහ 1981 අංක 57 දරණ වෙරළ සම්පත් පනත යටතට ගැනෙන චෝදනාවන්වන නීති විරෝධී රැස්වීමක සාමාජිකයන් වීම, නීති විරෝධී රැස්වීමක දැන දැන සාමාජිකයන් වීම, වෙරළ කලාපය තුළ අනවසර ඉදිකිරීමක් සිදුකිරීම, පොලිස් නිලධාරීන්ට පහරදී තුවාල සිදුකිරීම, පොලිස් නිලධාරීන්ට සාපරාධි බලහත්කාරය පෑම, නිසි අවසරයකින් තොරව වෙරළ කලාප භූමිය හැරීම තුළින් භුමියට අනර්ථයක් සිදුකිරීම, ත්‍රිකුණාමලය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අරුණ සාමන්ත චන්ද්රකපාල මහතාට පහරදී තුවාල සිදු කිරීම, ත්‍රිකුණාමල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්දන කුමාරසිංහ මහතාට පහර දී තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් වන චෝදනා සැකකරුවන්ට එරෙහිව ත්‍රිකුණාමල වරාය පොලිසිය මගින් ඉදිරිපත් කර තිබුණි.

විත්තිකරුවන් අදාළ චෝදනාවලට නිවැරදිකරුවන් බව ප්‍රකාශ කිරීමෙන් පසු විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මණ්ඩලය ඉකුත් නොවැම්බර් මස 16 දින හෝ ඊට ආසන්නක දිනක දී සිදුවූ මෙම සිදුවීමේ දී පිරිත් සජ්ඣායනා කිරීමට පැමිණි ස්වාමින් වහන්සේලාට හා පිරිත් ශ්‍රවණය කිරීමට පැමිණි පිරිසට පොලිසිය පහරදීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හරහා  විමර්ශනයක් සිදු කරන ලෙස මහේස්ත්රාකත්වරයාගෙන් ඉල්ලීමක් කළේය.

ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කිරීමට මෙහිදි  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝගයක් නිකුත් කළේය.

මෙලෙස බන්ධනාගාර ගත වූයේ වනවාසී බළන්ගොඩ කස්සප හිමි, ත්‍රිකුණාමලය සම්බුද්ධ ජයන්ති විහාරාධිපති ත්‍රිකුණාමලයේ කල්‍යාණවංශ තිස්ස හිමි, ත්‍රිකුණාමලය නගර හා කඩවත් ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී බොරලුකන්ද රජ මහා විහාරාධිකාරී ත්‍රිකුණාමලයේ සුඛිතවංශ තිස්ස හිමි, ත්‍රිකුණාමලය සිරිමාපුර ආනන්දාරාම (ගිරිහඬු සෑය ශාඛාව) විහාරවාසී ත්‍රිකුණාමලයේ නන්දහිමි යන හිමිවරු ඇතුළු ත්‍රිකුණාමලය එක්සත් ජාතික පක්ෂ සංවිධායිකා එම්.එච්.දීපානි, සම්බුද්ධ ජයන්ති විහාරස්ථානයේ දායක සභාවේ ලේකම් විදුරංග ලොකු ගලප්පත්ති, සිංහල සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු දුලාර ගුණතිලක, ලියනගේ තිලක් කුමාර,ඩික්මන් ජයරත්න හා එම්.සී. පියල් හේමසිරි යන අයවලුන් ය.

 

-------------------------------------

ත්‍රි‍කුණාමලය නගරයේ වෙරළ ආරක්ෂක කලාපය තුළ අනවසර කුටියක් ඉදිකර බුදු පිළිමයක් තැන්පත් කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කළ    බලංගොඩ කස්සප හිමි ප්‍රමුඛ භික්ෂුන් වහන්සේ සිව්නම සහ සෙසු සැකකරුවන් හය දෙනා ලබන 2 වැනි දා තෙක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි ත්‍රිකුණාමලය ප්‍රධාන මහේස්ත්‍රාත් එම්.එස්.එම් සංසුදීන් මහතා  නියෝග කළේය.  

රිමාන්ඩ් බාරයේ සිටි සැකකරුවන් අද යළි අධිකරණයට ඉදිරිපත් කළේය. 

ත්‍රි‍කුණාමලය නගරයේ වෙරළ ආරක්ෂක කලාපය තුළ අනවසර කුටියක් ඉදිකර බුදු පිළිමයක් තැන්පත් කළේ යැයි වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව කර තිබූ පැමිණිල්ලක් සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් ගත කර සිටියි