(රන්ජන් කස්තුරි)

අලුත් අවුරුදු උත්සව කාලයේ දී ජනතාව නොසැලකිලිමත් ලෙස කටයුතු කිරීමෙන් කොවිඩ් -19 වසංගතය තදින්ම පැතිරයාමේ දැඩි අවදානමක් හට ගැනීම නිසා දැඩි තීන්දු ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කළේය.

ඒ අනුව දිනකට අවම වශයෙන් පී.සී.ආර් පරීක්ෂණ 15000ක් බැගින් සිදු කිරීම, නිරෝධායන නීති දැඩිව ක්‍රියාත්මක කිරීම හා නිරෝධායන නීති කඩකරන්නන්ට එරෙහිව දඬුවම් ක්‍රියාත්මක කිරීම සහ විදේශ රටවල සිට පැමිණෙන පුද්ගලයින් සඳහා විශේෂිත නිරෝධායන නීති අලුතින් සකස් කිරීම ඇතුළු දැඩි පියවර 8ක් වහා ම ක්‍රියාත්මක කිරීමට තීන්දු කළ බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවා ය.

රෝහල් වල දැඩි සත්කාර ඒකකවල ඇඳන් ධාරිතාවය වැඩි කිරීම, රෝගීන්ට අවශ්‍ය හයිෆ්ලෝ ඔක්සිජන් ලබා දීම , දත්ත රැස් කිරීමේ ක්‍රම වේදය ශක්තිමත් කිරීම හා වෛද්‍යවරුන් හෙදියන් ඇතැම් සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සඳහා ආරක්ෂිත ඇඳුම් වැඩිපුර ලබාදීමට පියවර ගන්නා බව ද සෞඛ්‍ය ඒ ඇමතිනිය කීවාය.

කෝවිඩ් ආසාදිත බවට තහවුරු වූ රෝගීන්ගේ රෝග තත්ත්වයන් අනුව වෙන් වෙන් වශයෙන් ඔවුන් සුදුසු රෝහල් වෙත යොමු කිරීමට සැලසුම් කිරිම ඉදිරියේ දී කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීම රට පුරා අලුතින් තවත් රෝහල් හඳුනාගැනීම හා ඒවාට අවශ්‍ය වෛද්‍ය සුදුසුකම් සැපයීමට කඩිනම් පියවර ගන්නා බවද පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කළාය.