(කවිතා සුබසිංහ) 

කැලණිය සරසවියේ සීසීටීවී කැමරා පද්ධතිය ගලවා ඉවත් කළැයි කියන සිද්ධියට සම්බන්ධ තවත් සැකකාර සිසුන් 11 දෙනෙකු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව එක් අයකුට රුපියල් ලක්ෂ පහ බැගින් වු ශරීර ඇප දෙකක්  මත මුදා හැරීමට මහර ප්‍රධාන මහේස්ත්‍රාත් රුවන් පතිරණ මහතා අද (23)  නියම කළේය.

අසන්ත දිල්ෂාන් ප්‍රසාද්,ප්‍රදීප් තරංග අමරසිංහ,කණිෂ්ක තරංග රත්නායක,අනුෂ්ක සුජීව බණ්ඩාර,සුදේශ් ඉදුනිල්,අෂාන් පියුමන්ත,හසිත ජයසාන්ත රත්නායක,මහෙෂ් මධුවන්ත,නලින් කුමාර සහ අනුරුද්ධ විජේවර්ධන යන අය මෙලෙස ඇප මත මුදා හැරිණි.

සිද්ධියට සම්බන්ධ අනෙක් සැකකරුවන් ඇප ලබා දී තිබිම හා සැකකරුවන් තවම විශ්ව විද්‍යාල අධ්‍යාපනයේ යෙදීම යන කරුණු සැළකිල්ලට ගනිමින් සැකකරුවන් ඇප මත මුදා හැරීමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.

මෙම නඩුවට සැකකරුවෙකු වන හේරත් රණසිංහ මුදියන්සේලාගේ අනුරුද්ධ විජේවර්ධන යන අය බන්ධනාගාර අධිකාරිය මඟින් අධිකරණය වෙත ඉදිරිපත් කළ අතර එම සැකකරු ද මෙම නඩුව සඳහා ගොනු කර දෙන ලෙස පොලිසිය අධිකරණය හමුවේ ඉල්ලා සිටියේය. 

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 140 146 සහ 1982 අංක 12 දරණ පොදු දේපල විෂයෙහිලා වැරදි පිළිබඳ පනතේ අංක 02 වගන්තිය යටතේ කිරිබත්ගොඩ පොලිසිය අධිකරණය වෙත කරුණු වාර්තා කර තිබිණි.

සැප්තැම්බර් මස 8 වැනි දා නඩුව නැවත කැඳවීමට ද මහේස්ත්‍රාත්වරයා නියම කළේය.අ

විත්තිය වෙනුවෙන් නීතිඥ විරේන්ද්‍රා කනංකේගේ මහත්මිය,නීතිඥ මහේෂ් පොතුවිල මහතා සහ නීතිඥ සුදර්ශන වික්‍රමරත්න මහතා පෙනී සිටියහ.