(අංජුල මහික වීරරත්න)

කොරියානු ජන රජයේ කෘෂිකාර්මික කටයුතු සඳහා සෘතුමය සේවක වැඩසටහන යටතේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

කොරියානු ජන රජයේ E - 8 වීසා කාණ්ඩය (සෘතුමය සේවකයින්) යටතේ ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් යෙදවීම පහසු කිරීම සඳහා නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමටත්, ඒ සඳහා උනන්දුවක් දක්වන කොරියානු පළාත් පාලන ආයතන සමඟ සාකච්ඡා පැවැත්වීමටත් 2025-02-19 දින සහ 2025 - 07 -01 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීම් වලදී අනුමැතිය ලබා දී ඇත. 

ඒ අනුව, කොරියාවේ බෝසෝං පළාත් පාලන ආයතනය සමඟ පැවැති සාකච්ඡා වල ප්‍රතිඵලයක් වශයෙන් ශ්‍රී ලංකාවෙන් ඍතුමය සේවකයින් බඳවා ගැනීමට සහ ඒ වෙනුවෙන් අවබෝධතා ගිවිසුමකට එළඹීමට එකඟතාව පළ කර තිබේ. 

යෝජිත අවබෝධතා ගිවිසුම මඟින්, ශ්‍රී ලාංකිකයින්ට ඍතුමය ශ්‍රමික වැඩසටහන යටතේ කෙටි කාලයක් ( උපරිම මාස 8 ක් දක්වා) බෝසෝං පළාතේ කෘෂිකාර්මික ගම්මානවල සේවය කර ආදායමක් උපයා ගැනීමට සහ මෙරටට විදේශ විනිමය උපයා දීමට අවස්ථාව සැලසෙනු ඇත.

ඒ අනුව, යෝජිත අවබෝධතා ගිවිසුම බෝසෝං පළාත් පාලන ආයතනය සමඟ අත්සන් තැබීම පිණිස විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.