(අජන්ත රත්නායක)

කුරුණෑගල ශික්ෂණ රෝහල සතු දහනාගාරයක් අක්‍රියවීම නිසා, රෝහල් භූමිය තුළ සායනික අපද්‍රව්‍ය ගොඩගැසීමෙන් ප්‍රතිකාර ලබාගැනීමට රෝහලට පැමිණෙන ජනතාව දැඩි අපහසුතාවයකට පත් වී සිටිති.

කුරුණෑගල ශික්ෂණ රෝහල සතුව දහනාගාර දෙකක් ඇති අතර එයින් එකක චිමිනිය මීට මාස කිහිපයකට පෙර කඩා වැටීම නිසා භාවිතයට ගැනීමට නොහැකි තත්වයකට පත්වී තිබේ. වසර පහළොවක් පමණ පැරණි දහනාගාරයක් මෙලෙස කඩා වැටී ඇති අතර දැනට ක්‍රියාත්මක වන්නේ මෑතකදී ඉදි කරනු ලැබූ දහනාගාරය පමණි.

කුරුණෑගල ශික්ෂණ රෝහලේ ශල්‍යාගාර, වාට්ටු සහ කොවිඩ් ඒකකවලින් දෛනිකව ටොන් එක හමාරක පමණ සායනික අපද්‍රව්‍ය නිකුත් කරන බව රෝහල් ආරංචි මාර්ග කියයි.

එලෙස බැහැර කළ සායනික අපද්‍රව්‍ය සහිත ඉටි මළු දහනාගාරය අවට ගොඩ ගසා ඇති අයුරු දැකගත හැකිය. සායනික අපද්‍රව්‍ය ගොඩ ගැසීමට රෝහල් භූමියෙහි ඉඩ ප්‍රමාණවත් නොවීම හේතුවෙන් ජයන්තිපුර පාරේ පිහිටි අතහැර දමන ලද පැරණි වෛද්‍ය නිල නිවාස තුළ ද අපද්‍රව්‍ය තැන්පත් කර ඇත.

කපුටන්, බල්ලන් වැනි සතුන් විසින් අපද්‍රව්‍ය මළු සිදුරුකර ඒවායේ ඇති සායනික අපද්‍රව්‍ය රෝහල් භූමිය පුරා විසුරුවා හැරීම නිසා දැඩි පාරිසරික ගැටලුවක් ද මතු වී ඇත. අපද්‍රව්‍ය ගොඩ ගසා ඇති භූමිය ආසන්නයේ මාතෘ වාට්ටු සංකීර්ණය, ජාතික තැලසීමියා මධ්‍යස්ථානය සහ ළමා වාට්ටු සංකීර්ණය ඇතුළු වාට්ටු කිහිපයක්ම පිහිටා ඇති අතර ඒවායේ ප්‍රතිකාර ලබන රෝගීහු දැඩි අපහසුතාවයට පත්ව සිටිති. සායනික අපද්‍රව්‍යවලින් හමා එන දැඩි දුර්ගන්ධය හේතුවෙන් තමන් ද දැඩි ලෙස පීඩාවට පත්ව සිටින බව රෝහල අවට පදිංචිකරුවෝ පවසති.