(අජන්ත රත්නායක)

තමන් නියත වශයෙන්ම සේවයට වාර්තා කරන්නේ ලබන 25 වැනිදා බවත්, හැකිනම් එම මාසයට අදාළ ගුරු වැටුප් ගෙවීම අත්හිටුවා පෙන්වන්නැයි වයඹ පළාත් ආණ්ඩුකාරවරයාට අභියෝග කරන බවත්, කුරුණෑගල දිස්ත්‍රික් ගුරු සංගම් නියෝජිතයෝ පැවසූහ.

ලබන 21 වැනිදා රාජකාරියට වාර්තා නොකරන වයඹ පළාතේ ගුරුවරුන්ගේ වැටුප් අත්හිටුවීමට කටයුතු කරන බවත්, ඔවුන්ට එරෙහිව විනයානුකූල ක්‍රියාමාර්ග ගන්නා බවත් වයඹ පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ මහතා කළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින් ගුරු සංගම් නියෝජිතයෝ මේ බව පැවසූහ.

එහිදී අදහස් දැක්වූ ලංකා ගුරු සේවා සංගමයේ වයඹ පළාත් ලේකම් එම්. ඒ. විමලසිරි මහතා මෙසේ පැවසීය.

"වයඹ පළාත් ආණ්ඩුකාරවරයා තමන්ගේ තනතුරේ ගෞරවය පවා නොසලකමින්, ආණ්ඩුක්‍රම ව්‍යස්ථාව සහ වෘත්තීය සමිති ආඥා පනත ආදී මේ සියල්ල පසෙකට දාලා, පටු දේශපාලන වුවමනාවන් මත එම තනතුර හෑල්ලුවට ලක් කරපු විදිය අපි දැක්කා. එතුමා කොමියුනිස්ට් පක්ෂයක සභාපතිවරයෙක්.

ලෝකය පුරාම වාමාංශික ව්‍යාපාරවල තියෙන කොමියුනිස්ට් පක්ෂවලින් කරන්නේ කම්කරු අයිතිවාසිකම් ආරක්ෂා කරන එක. ඒවා රැක ගන්න එක.

නමුත් කියන්න කණගාටුයි. වයඹ ආණ්ඩුකාරතුමා වැඩ කරන්නේ ඒකේ අනිත් පැත්තට. අපි දරුවන්ට උගන්වනවා "නහින දෙහින කලට - පින් කෙරුම යුත" කියලා. ඒ වැකිය තමයි එතුමාටත් අපිට කියන්න තියෙන හොඳම දේ. ඒක නිසා තමන්ගේ පටු දේශපාලන උවමනාවට මේ රටේ ගුරුවරුන්ට, විශේෂයෙන්ම වයඹ පළාතේ රාජ්‍ය සේවකයින්ට විරුද්ධව ඒ කරපු ප්‍රකාශය අපි හෙළා දකිනවා.