(ඩයනා උදයංගනී)
ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයාට, අගමැතිවරයාට හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් ඉගෙන ගත හැකි පාඩම් තිබෙනවා, නායකයන් ඒවා ඉගෙන නොගතහොත් රනවුට් හෝ හිට්විකට්වීම වළක්වා ගත නොහැකි බවත්, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.
ජනාධිපතිවරයා, අගමැතිවරයා, විපක්ෂනායකවරයා ඇතුළු කිසිම නායකයෙකුට හෝ පක්ෂයකට තනිව රට පවතින අර්බුදයෙන් ජනතාව මුදවාගත නොහැකි බව කී මන්ත්‍රීවරයා ඔවුන්ට ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් කිරීමට ඇති එකම දේ වසරක කෙටිකාලීන නිශ්චිත ආර්ථික වැඩපිලිවෙලක් සහිත සර්ව පාක්ෂික එකතුවීමක් පමණක් බව ද සඳහන් කළේය.
ඩලස් අලහප්පෙරුම මහතා මේ බව පැවසුවේ මාතර දිස්ත්‍රික් පළාත් පාලන ආයතන නියෝජිතයින් සමඟ නූපේ ප්‍රධාන කාර්යාලයේදී ඉකුත්දා පැවති රැස්වීමක් අමතමිනි. මන්ත්‍රීවරයා එහිදී මෙසේ ද පැවසීය.
“අද අපේ රටේ මිනිසුන්ට දේශපාලන පක්ෂ සහ නායකයන් පිළිබඳව තිබෙන්නේ බරපතල අවිශ්වාසයක්. අවංකකම පිළිබද විශාල, සාධාරණ සැකයක් සියලුම දේශපාලඥයන් පිළිබඳව මතුවෙලා. මටත් ඒක අදාලයි. පවුල් කේන්ද්‍රීය දේශපාලනය මුළුමනින්ම ප්‍රතික්ෂේප වෙලා. ජනතාවට බොරු නොකියන, රටේ දේපල සූරා නොකන, පොදු දේපලට ගරු කරන, 21 වැනි ශත වර්ෂයේ අවශ්‍යතා හඳුනාගත් දියුණු, වගකීම් සහගත සහ සැබවින්ම අවංක දේශපාලන ප්‍රවාහයක් ගොඩනැගීම දිගු කාලීනව අර්බුදය ජයගැනීම සඳහා ඇති එකම මාර්ගයයි.
හිසරදයට කොට්ට මාරුකරන්නා සේ මාසයකට වරක් කැබිනට් මණ්ඩලය මාරුකිරීමෙන් හෝ අගමැතිවරයා මාරු කිරීමෙන් මෙම අර්බුදයට විසඳන්න බැහැ. 2019 දෙසැම්බර් සිට අවුරුදු දෙක හමාරක කාලය තුළ වර්තමානයේ පත්ව සිටින්නේ පස්වන කැබිනට් මණ්ඩලය හා දෙවැනි අගමැතියි. ජනාධිපතිවරයා, අගමැතිවරයා, විපක්ෂනායකවරයා ඇතුළු කිසිම නායකයෙකුට හෝ පක්ෂයකට තනි තනිව මේ අර්බුදයෙන් ජනතාව මුදවා ගන්නත් බැහැ. එම නිසා මේ නායකයන්ට ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් කිරීමට ඉතිරිව ඇති එකම දේ වසරක කෙටිකාලීන නිශ්චිත ආර්ථික වැඩපිලිවෙලක් සහිත සර්ව පාක්ෂික එකතුවීම පමණයි. ඉන්පසු තම ඉරණම තීරණය කිරීම ජනතාවට භාරකරන්න පුළුවන්.
ආකර්ෂණීය භාෂාවෙන් ෂඩ් වර්ණය මුසුකොට මැතිවරණ ප්‍රකාශ සකසා මහජන මතය “පික්පොකට්” ගැසීමේ සංස්කෘතියට නැවතීමේ ලකුණ තැබීම නව පරම්පරාවේ බලාපොරොත්තුවයි. මින්පසු කිසිම මැතිවරණයක දී චෞරයන්ට ඡන්දය මංකොල්ල කන්න දෙන්න එපා. දේශපාලන නායකයන්ගේ සහ පක්ෂවල අධ්‍යාපන, බලශක්ති, ප්‍රවාහන, පාරිසරික හා කෘෂිකර්ම ප්‍රතිපත්ති මොනවාදැයි රටට හෙළිකිරීම මාධ්‍යවල වගකීමයි. ඒ නිසා අපිට ඡන්දය දෙන්න අපි විසඳන්නම් කියන ප්‍රකාශ, “වාචාල ප්‍රකාශ” ලෙස බැහැර කළ යුතුයි “අළුත් සොරෙකු ඕනෑකර තිබේ” නම් යා යුත්තේ නාට්‍ය ශාලාවකට මිස ඡන්ද මධ්‍යස්ථානයකට නොවෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ ජනතාව විතරක් නොවේ.. අනිත් රටවල්වල අයත් අපේ දේශපාලකයන් ගැන අවිශ්වාසයෙන් තමයි ඉන්නේ... ඉන්න 225 සහ නන්දසේන යනකන් රටට කිසිම සෙතක් නැහැ.
බඩගෙඩිය දිහා බලපු ගමන් පේනවා හොඳ ක්‍රිකට් කාරයෙක් කියලා...!