(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ  කතානායක (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා  චීන මහජන සමූහාණ්ඩුවේ හයිනාන් පළාතේ  ආසියානු සංසදයේ වාර්ෂික සමුළුවට (Boao Forum for Asia Annual Conference 2026) සහභාගී වීම සඳහා එහි  නිල සංචාරයක නිරත විය.

දූත පිරිසට පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය සහ ව්‍යවස්ථාදායක සේවා අධ්‍යක්ෂ සහ සන්නිවේදන අධ්‍යක්ෂ (වැඩබලන) ජයලත් පෙරේරා මහතා ඇතුළත් වූහ

කථානායක බෝආඕ සංසදයේ සභාපති බන් කී මූන් මහතා සහ සංසදයේ මහලේකම් ෂැං ජුන් මහතා හමුවිය. එම රැස්වීමේදී බන් කී මූන් මහතා, ගෝලීය අස්ථිරතාව ඉහළ යමින් පවතින මෙවන් අවස්ථාවකදී ආසියාව තුළ සංවාදය හා සහයෝගීතාව සඳහා බෝආඕ සංසදයේ වැදගත්කම අවධාරණය කළේය. වර්තමාන අභියෝගයන්ට මුහුණ දීමට ශක්තිමත් දේශපාලන නායකත්වය අත්‍යවශ්‍ය බවද ඔහු පෙන්වා දුන්නේය. ශ්‍රී ලංකාවේ කලාපීය භූමිකාවද ඔහු ප්‍රශංසාවට ලක් කළේය. තවද එක්සත් ජාතීන්ගේ මහලේකම් ලෙස සේවය කළ කාලය තුළ ශ්‍රී ලංකාවේ කළ සංචාරය සිහිපත් කරමින්, යුධ ගැටුම්වලින් පසු කාලය තුළ රට ලබාගත් ප්‍රගතිය ද  බන් කී මූන් මහතාගේ ඇගයීමට ලක් විය.