(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )

කථානායකවරයාට එරෙහිව පැවැත්වෙන අල්ලස් කොමිසමේ විමර්ශනය සම්බන්ධයෙන් මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා කතා කරද්දි කතානායකවරයා ඊට අවස්ථාව ලබා නොදීම හේතුවෙන් විපක්ෂයේ මන්ත්‍රීවරුන් විරෝධයක නිරතවීමෙන් පාර්ලිමේන්තු සභාගර්භයේ උණුසුම් තත් වයක් ඇති විය.

මේ අවස්ථාවේදී ජයසේකර මහතා කථානායකවරයාට එරෙහි අල්ලස් කොමිසමේ විමර්ශනය සම්බන්ධයෙන් සකස් කෙරුණු වරප්‍රසාද ප්‍රශ්නය සභාගත කරනු දැකගත හැකි විය.

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා:

අද මෙතන කතා කරන්නේ වෙනත් විෂයක්. ඔබතුමා ඒ විෂය අනුව කතා කරන්න. වෙනත් දේවල් කතා කරන්න බැහැ.එහෙම කරන්නේ නැත්නම් මට ඔබතුමාගේ කතාව අවසන් කරන්න සිද්ධ වෙනවා.

දයාසිරි ජයසේකර මහතා:

කථානායකවරයාට එරෙහිව අල්ලස් විමර්ශනයක් යනවා. සියලු පුවත්පත් ඒ ගැන වාර්තා කරලා තියෙනවා. මේ ප්‍රශ්නය ගැන ප්‍රශ්නයක් මතු කරන්න අපිට අයිතිය තියෙනවා;ඒක ගැන කතා කරද්දි මාව එළියට දාන්න කතා කරනවා නම් මම කනගාටු වෙනවා. ඔබතුමාට මේක අහගෙන ඉන්න බැරි නම් නියෝජ්‍ය කතානායකතුමාට පුටුව දීලා එළියට යන්න.

කථානායක;

ඔබතුමා විෂයට අනුව නෙවෙයි කතා කරන්නේ.

ජයසේකර මහතා;

ඔබතුමාට අහගෙන ඉන්න බැරි නම් එළියට යන්න.

( කථානායක නියෝජ්‍ය කතානායක රිස්වි සාලි මහතාට කතා කිරීමට ආරාධනා කරයි)

විපක්ෂ මන්ත්‍රීවරු සිය අසුන් වලින් නැගිට විරෝධය පළ කරති. ලැජ්ජයි ලැජ්ජයි යනුවෙන් කෑ ගසති.

ඊට පසු මුජිබර් රහුමන් මහතා කතා කරමින් ඒ විමර්ශනය යද්දී කථානායකවරයා මේ පුටුවේ රැඳී සිටීම සදාචාරාත්මක නැති බවයි.

මුජිබර් රහ්මන් මහතා මෙසේ පැවසීය.

මෙතන නීතිමය ප්‍රශ්නයක් තියෙනවා. විමර්ශනයක් යනවනම් පරීක්ෂණවලට ඉඩ දීලා අයින් වෙන්න ඕන. ඒක තමයි යහපාලනය. ඔබලාගේ වේදිකාවල කිව්වේ ඒක තමයි. නීතියට උඩින් කවුරුත් නැහැ කියලා ජනාධිපතිතුමා කියනවා. ඒක ඔබතුමා පිළිගන්න ඕන. ඒ ගැන කතා කරන්න ඉඩ දෙන්නේ නැහැ කියන එක අපිට ලොකු ප්‍රශ්නයක්.මන්ත්‍රීවරයකුට මේ ගැන කතා කරන්න බැරිද. මීට කලින් කතානායකවරු මේ විදියට හැසිරුණේ නැහැ. කිසිම කතා නායකවරයෙක් මේ විදියට හැසුරුණේ නැහැ ඒකාධිපති විදිහට හැසිරුණේ නැහැ. ඔබතුමාල වේදිකාවේ විනිවිදභාවය ගැන කතා කරනවනේ. සහතිකය නැති වුණත් රන්වල ගෙනත් මෙතන තියන්න තිබුණා. සහතිකය අපිට එපා. තියෙන සහතික ටික අපිට ඇති.නැත්නම් රිස්වි සාලි කතානායක කරන්නකෝ. එතුම දොස්තර කෙනෙක්.